Sathosa

Jul 30, 2017

'ඉන්දු -ලංකා ගිවිසුමට කලදේම, වරාය චීන ගිවිසුමටත් කරනවා' - බැසිල් Featured

මහින්ද රාජපක්ෂ මහතා යළි මෙරට රාජ්‍ය නායකයා වූ සැනින් හම්බන්තොට වරාය යලි ජනතා සන්තක කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ගම්පහ - උඩුගම්පොල ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ඉන්දු -ලංකා ගිවිසුම මගින් ඒකාබද්ධ කර තිබු උතුරු - නැගෙනහිර පළාත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වෙන්කළ පරිදිම ඊයේ අත්සන් තැබූ ශ්‍රී ලංකා චීන ගිවිසුමද අහෝසි කරන බවට ඔහු එහිදී සහතික විය.

හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කල ජුලි 29 ජාතික ශෝක දිනයක් බවද ඔහු කියා සිටියේය.

'ජූලි 29 අවාසනාවන්ත දිනයක්' - මහින්ද

මේ අතර, ඊයේ (29) සවස තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුයේ, එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දීම ඉතාමත් අවාසානාවන්ත සිදු වීමක් වශයෙන් සැලකිය හැකි බවයි.

ජූලි 29 දින මේ රට ට අවාසනාවන්ත සිදු වීම් ඇති කරන දිනයක් බවට පත්ව ඇතැයිද ඔහු කියා සිටියේය.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය .

එහිදී තව දුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසිය.

'' හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරම්පරා ගණනක් හම්බන්තොට වරාය ගැන සිහින දැක්කා. මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැති තුමා, චමල් රාජපක්ෂ මැති තුමා වගේම එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුලරත්න වැනි නායකයන්ද හම්බන්තොයට වරාය ඉදිකිරීම පිළිබදව සිහින දැක්කා.

ඒ සිහිනය මට සැබෑවක් කරන්න පුළුන් කම ලැබුණා. මට අද දිනය ඉතාමත් කණගාටු දායක දිනයක් .

නිසි කළමණාකරනයක් යටතේ ලාභ ලැබිය හැකි හම්බන්තොට වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට බදු දීම පරම්පරා ගණනකට චීන සමාගමට බදු දීමක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ඉඩම් ජනතාවට ලබා දී තියෙන්නේත් 99 අවුරුදු බදු ගිවසුම් යටතේයි. එම ඉඩම් වල පරම්පරා කීයක් නම් ජීවත් වෙනවාද?

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ජාතික සම්පත් පාඩු ලබන තත්වයට ගෙනත් විකුණා දැමීමයි. නැත්නම් මත්තල ගුවන් තොටුපලේ වී ගබඩාක් කරන්නෙ නෑ.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top