Aug 04, 2017

තොරතුරු දැනගැනීමේ පනත අනෙක් පනත්වලට වඩා වෙනස් - කුසල් පෙරේරා

ශ්‍රී ලංකාවේ ‍තොරතුරු දැනගැනීමේ පනත මීට වසරකට පෙර එනම් 2016.08.04 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.ඉන් අනතුරුව රජය විසින් 2017- 02- 03 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම පනත ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව මහජනතාවට තමන්ට අවශ්‍ය තොරතුරු ගැටලුවකින් තොරව රාජ්‍ය නිලධාරියෙකු හරහා ලබා ගැනීමට මග පෑදුණි. මේ වන විට පනත සම්මත වී  වසරක් ද පනත ක්‍රියාත්මක වී මාස 6ක් ද ගතවී ඇත.

නමුත් එහි සක්‍රීයභාවය, ජනගතවීම  සහ ජනගත කිරීමට  දරණ ප්‍රයත්නය සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගි ඇත .

මෙම පනතේ ඇති වැදගත්කම සහ අවශ්‍යතාවය හේතුකොට ගෙන ශ්‍රී ලංකා මිරර්  ප්‍රවීන මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක කුසල්  පෙරේරා  මහතාගෙන් සිය අදහස් විමසා සිටියෙමු.
 
 ඒ මහතා සිය අදහස් දක්වමින්,

"පනත සම්මත වීමෙන් පසුව එය ක්‍රියාත්මක කරන තුරු සිදු කළයුතු  අතුරු විධිවිදාන කිහිපයක්  තිබෙනවා . ඒ අතර ඉල්ලුම් පත්‍රය  සැකසිම, රාජ්‍ය ආයතන  සඳහා තොරතුරු නිලධාරින් පත් කිරිම,ඔවුන්ට අවශ්‍ය දැනුම පුහුණුව ලබා දීම, රටේ පුරවැසියන් අතරට මෙම පනත රැගෙන යාම සහ අවබෝධයක් ලබා දීම ආදි වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. මේ සඳහා කාලයක් ගත වෙනවා. සමාන්‍යයෙන් පනතක් ක්‍රියාත්මක  කිරීමේදී පස් දෙනෙකුගෙන් යුක්ත තොරතුරු කොමිසමක් පත්කරන්න ඕන. මේකට ප්‍රධාන විධායක නිලධාරි කෙනෙක්  අවශ්‍ය වෙනවා. එම ලේකම් කාර්යාලය පවත්වා ගැනීමට අවශ්‍ය කරනු ලබන අනෙකුත් දෑ ද සපුරා ගැත යුතු වෙනවා.

ඒ අනුව බැලීමේදී  පනත ජනතාගත වීමට වගේම පනතේ සක්‍රීය බව සහ ප්‍රයෝජනය පිළිබඳව මැන බැලිමටත් මේ ගෙවී ගිය මාස 5ක කාලය මදි.

මේ පනත අනෙකුත් පනත්වලින් වෙනස් වෙනවා. හේතුව, අනෙකුත් පණත් ක්‍රියාත්මක කිරිමට නිශ්චිත ආයතනයක් අවශ්‍යයයි. නමුත් තොරතුරු දැන  ගැනිමේ  පනත් සඳහා නිශ්චිත ආයතනයක් නෑ.

පනතේ සක්‍රීය  බව තීරණය වෙන්නේ පුරවැසියන් මෙය භාවිතා කරන ප්‍රමාණය අනුව. කෙතරම් දියුණු පණතක් වුණත්  ජනතාව  එය තම සංස්කෘතික ලක්ෂණයක් ලෙස භාවිත කරන්නේ නැත්තම් වැඩක් නැහැ. දැන් ලංකාවේ  තියෙන්නේ තොරතුරු ලබා ගැනිම සම්බන්ධයෙන්  නිශේධාත්මක සංස්කෘතියක් .

දේශපාලනය  සහ සමාජ  පිරිහිම හරහා මතු  වී තිබෙන පරිහානිය මත මේ වගේ වැදගත්  පනතක අවශ්‍යතාවය මිනිසුන්ට දැනෙන්නෙ නැහැ .  තොරතුරු  ලබාගැනීම හරහා තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනිමේ පිළිවෙතට මිනිස්සු  ගෝචර නෑ.

ඒ වගේම රාජ්‍ය ආයනවල  නිලධාරින් හිතාගෙන ඉන්නේ ඒ ඒ ආයතනවල තියෙන හැම දේම තමන්ගේ කියලා . එතන වෙනම කාර්යාල  සංස්කෘතියක් තියෙනවා". යැයි පැවසීය.

මෙම පනත ක්‍රියාත්මක කිරීමට පෙර කළයුතු ප්‍රචාරණ කටයුතු  සදහා 2017 වර්ෂයේ අයවැයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන 3.3 ක් ලබා දෙන ලදි. නමුත් මෙම මුදල් කුමක් සදහා භාවිත කළේ ද යන්න පිළිබදව පැහැදිලි අදහසක් නැත.

මේ සම්බන්ධයෙන් කුසල් පෙරේරා මහතාගෙන් සිය මතය විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එම මුදල් ඒ ඒ තැන්වල ඉන්න අය බෙදා හදා ගන්නට ඇති බවයි. තවද මෙම පනත සම්බන්ධව මාධ්‍යවේදීන් පුහුණු කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ අතර එයද වැරදියට සිදුකර ඇති බවට ඔහු චෝදනා කරයි.

තොරතුරු දැන ගැනීමේ පණත යටතේ අනෙක් වැදගත්ම කරුණ වන්නේ ජනතාව සහ තොරතුරු නිළධාරියා අතර සිදුවන සන්නිවේදනයයි. තම ගැටලුව හෝ අවශ්‍යතාවය ඉල්ලුම් පත්‍රයක් පුරවා තොරතුරු නිළධාරියාට බාර දීම හරහා සිදුකළ හැකිය.මෙම නිළ ඉල්ලුම් පත්‍රයේ අවශ්‍යතාවය පිළිබදව  කුසල් පෙරේරා මහතා අදහස් දක්වමින්,

"නිල ඉල්ලුම් පත්‍රයක් අවශ්‍ය නෑ. ජනතාවට කරන්න තියෙන දේ සරලයි. තම අවශ්‍යතාවය කොළයක සටහන් කරලා තොරතුරු නිළධාරියාට බාර දෙන්න පුළුවන් . එම අවශ්‍යතාවය ඉටුකිරීමට නිළධාරියා බැදී සිටිනවා. ඒ වගේම සාක්ෂරතාව දුර්වල හෝ සන්නිව්දන දුර්වලතා සහිත කෙනෙක් වේ නම් එම පුද්ගලයාගේද පණිවුඩය ලබා ගෙන ඔහුගේ අවශ්‍යතාවය ඉටු කිරීමට නිලධාරියා බැදී සිටිනවා යැයි ඔහු ප්‍රකාශ කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top