Aug 07, 2017

'දූෂණයට පක්‌ෂව අත ඔසවන්නේ නෑ' -සජිත් Featured

තමන් ඇතුළු යහපාලන රජයේ කිසිවකු දූෂණයට පක්‌ෂව අත ඔසවන්නේ නැතැයි නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මොනරාගලදී පෙරේදා (05දා) ප්‍රකාශ කළේය.

සියඹලාණ්‌ඩුව මානාභරණගම උදාගම්මානය ජනතා අයිතියට පවරා දෙමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව අලුත් ආණ්‌ඩුවක්‌ පත්කර ගත්තේ හොරු අල්ලා ගන්නට මිස හොරකම් නොකරන්නට බවය.

ජනතා විශ්වාසය භංග නොවන පරිදි ගමන් කිරීමට මහජන නියෝජිතයන් වග බලා ගත යුතු බවද පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජනතා විශ්වාසය භංග වුවහොත් යළි විපක්‌ෂයේ නිවහනට යා හැකි බවද කීවේය.

හොරකමට පක්‌ෂව අත ඔසවන්නැයි කවුරුන් හෝ තමන්ට කීවොත් සියලු තනතුරු අතහැර ජනතාව සමඟ පාරට බසින්නට තමන් සූදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.

RanilWickramasingha 600px 16 11 16
'අද නීතිපති ඇමැතිවරුන් ගෙන්වා ප්‍රශ්න කරනවා'


'එජාපයේ  හොරු ඉන්නවා නම් ඉවත් කරනවා'

මේ අතර, ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ, එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් ය.

එහිදී අගමැතිවරයා මෙසේද කීවේය.

''අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක්‌ තිබුණද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක්‌ පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදු වෑන්වලින් ඉස්‌සුවා.

දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා.

මා එකක්‌ කියන්නම්. මේ ආණ්‌ඩුව හොරුන් ආරක්‌ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක්‌ හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා.

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්‍ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top