Aug 15, 2017

ශිරන්ති අද CID යට - තාජුඩීන්ගේ මරණයට පසු වාහනය කළු කරලා ! Featured

රග්බි ක්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරත්නි රාජපක්ෂ මහත්මිය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID ) පෙනී සිටීමට නියමිතය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මීට පෙර කළ දැනුම් දිමකට අනුවය.

ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී ඇත.

එම රථය රතු කුරුස සංවිධානය විසින් සුනාමි ආධාරයක් ලෙස ඇයගේ 'සිරිලිය පදනමට' ලබා දී ඇති එකක් බවත්  එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවත් හෙළි වී තිබේ.

කෙසේ වෙතත් සුදු පැහැති මෙම ඩිෆෙන්ඩර් රථය තාජුඞීන් ඝාතන සිද්ධියෙන් පසු කළු පැහැ ගන්වා  ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට  ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ද  ප්‍රශ්න කිරීමට නියමිතය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණියහොත් ඇයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගන්නා බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top