Aug 15, 2017

බාල තාර ගෙන්වා බෙදා හැරීමේ ජාවාරමක්‌ !

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ උසස්‌ නිලධාරීන් කිහිප දෙනකු සහ පෞද්ගලික ජාවාරම්කරුවන් පිරිසක්‌ එක්‌ වී බාල තාර මෙරටට ගෙන්වා බෙදා හරිමින් රුපියල් කෝටි ගණන් ලාභ ලැබීමේ ජාවාරමක්‌ ක්‍රියාත්මක කර ඇතැයි තෙල් සංස්‌ථා වෘත්තීය සමිති චෝදනා කරයි.

කාලයක සිට මෙරටට තාර ආනයනය කර බෙදා හැරීමේ ඒකාධිකාරය ඛනිජ තෙල් සංස්‌ථාව සතුව තිබී ඇත.

එහිදී උසස්‌ ප්‍රමිතියෙන් යුතු තාර ආනයනය කර බෙදා හැරීමට ඛනිජ තෙල් සංස්‌ථාව කටයුතු කළද වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඉකුත් 2015 වසරේ සිට පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් 20 දෙනකුට පමණ තාර ආනයනය කර බෙදා හැරීමට අවසර ලබා දීමෙන් මෙම ජාවාරම ආරම්භ වු බව ඛනිජ තෙල් සංස්‌ථා වෘත්තීය සමිති පෙන්වා දෙයි.

සංස්‌ථාවේ ඇතැම් නිලධාරීන් සහ ජාවාරම්කරුවන් එක්‌ව බාල තාර ආනයනය කිරීමෙන් පසු තෙල් සංස්‌ථාවේ තාරවලට සපුගස්‌කන්ද පිරිපහදුවේ ඇති පර්යේෂණාගාරයෙන් ලබා දෙන ප්‍රමිති සහතිකවල පිටපත් ව්‍යාජ ලෙස සකසා ප්‍රමිතියෙන් යුතු බව අඟවා මෙම ජාවාරම කරගෙන යන බවද සංස්‌ථා වෘත්තීය සමිති කියා සිටී.

එසේ ජාවාරම්කරුවන් ගෙන්වන ලද බාල තාරවර්ග විශාල තොගයක්‌ මේ වන විට වාරියපොල ප්‍රදේශයේ ගබඩාවක සහ මුතුරාජවෙළ ගබඩාවක ගබඩා කර තිබෙන බවද පෙන්වා දෙන සංස්‌ථා වෘත්තීය සමිති මෙම ජාවාරම නිසා සංස්‌ථාවට මාසිකව සිදු වන පාඩුව රුපියල් කෝටි ගණනක්‌ බවද සඳහන් කරයි.

(දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top