Sathosa

'රට ජාතිය ගැන කතා කරනවිට චෝදනාවට ලක් වෙනවා' 'රට ජාතිය ගැන කතා කරනවිට චෝදනාවට ලක් වෙනවා'
Aug 20, 2017

'ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ' - විජේදාස Featured

ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා එබව සඳහන් කලේ, ඊයේ (19) රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් තමන්ට එල්ල වෙන චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී සිය ප්‍රතිචාරය පළ කළේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන වකුගඩු රෝගය වැනි රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා "පළිගනිමින් සිටින" බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

'ගෝත්‍රිකයෝ කොච්චර හොඳද?'

පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සහ ඉන් අනතුරුව කිහිප වතාවක්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කර තිබුණි.

"දැන් එතුමා තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් කොහෙද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කොරන්න වෙලාවක් තියෙනවයි," අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ ඊට ප්‍රතිචාර වශයෙන් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සහ බුද්ධ ශාසනයට සිදු වූ "හිරිහැර සහ අසාධාරණ" සම්බන්ධයෙන් අදහස් පළකරන විට "ජාතිවාදීන්" සහ "ගෝත්‍රිකයන්" ලෙසින් විවේචන එල්ල කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජාතික සම්පත් රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විට ද එවැනිම චෝදනාවලට ලක්වීමට සිදුවෙන බවය.

"අපේ රටේ තිබුණු රුදුරු ත්‍රස්තවාදය අවසන් කරපු අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ දාල පෝරකයට ගෙනයන්න දෙන්නේ නෑ කියල කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයි," අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

'හැඟීමක් නැති පාලකයෝ'

"අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන ස්ථාවරය ගන්න කොට, ඒකට දේශපාලන ඇගිලි ගැසීම් කරන්න එපයි කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා."

"අධිරාජ්‍යවාදී වහල්ලු විදියට දීන මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිව ඉන්න නිවට දේශපාලනඥයන්," ලෙසින් ඔහු විග්‍රහ කළ පිරිසක් ද එහිදී අධිකරණ ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

"එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා."

ජනපතිට ප්‍රසංශා : අගමැති ගැන කතා නැහැ :

 97449080 150824113728 wijedasa rajapaksha 512x288 bbc nocredit

ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත විවේචන එල්ල කළ නමුත් සිය ප්‍රකාශය ඇතුළත ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ප්‍රසංශාවට ලක් කළේය.

මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ඇතුළු සිවිල් සමාජය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා අනුමත කිරීමට ඉඩ තිබෙන බව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල කළ විමසීමකදී සඳහන් කළේය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සෙනසුරාදා සිය අදහස් දැක්වීම අතරතුර දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කළ නමුත්, අගමැතිවරයා සම්බන්ධයෙන් නමින් කිසිදු සඳහනක් නොකළේය.

අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ඔවුන් දෙදෙනාම මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අදාළ අමාත්‍ය පදවි සඳහා නිර්දේශ කරනු ලැබුවේ සහ රටේ ප්‍රධානම පදවි සම්බන්ධ තීන්දු ගන්නා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා වශයෙන් පත්කරනු ලැබුවේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

(මූලාශ්‍රය - බීබීසී)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top