Aug 23, 2017

2020 ජනාධිපතිවරණයට සිංහල බෞද්ධ පොදු අපේක්ෂකයෙක් !

2020 ජනාධිපතිවරණ සටනට සිංහල බෞද්ධ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව බොදු බල සේනා සංවිධානය හා සිංහල රාවය සංවිධාන පවසති.

බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක සහ සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ මේ බව පැවසුවේ ඊයේ (22දා) රාජගිරියේ පිහිටි බොදු බල සේනා ලේකම් කාර්යාලයේදී, බොදු බල සේනා සංවිධානය මඟින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවේ ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් කටයුතු කළද වර්තමානයේ තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම්වලට වැනෙමින් සහ එහි බලපෑම්වලට යටවෙමින් කටයුතු කරන කැබිනට් මණ්ඩලයක් බව ද උන්වහන්සේ එහිදී පැවැසූහ.

''වත්මන් අධිකරණය ඇමැතිවරයා මේ රටේ පිළිගත්ත චරිතයක්. උගතෙක්, බුද්ධිමතෙක්, රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න, රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන විය යුතුයි කියලා ඒකට අනුව කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ධුරයේ අනිවාර්යෙන්ම තවදුරටත් කටයුතු කළ යුතුයි කියලා අපි අවධාරණය කරනවා.'' යයි ද උන්වහන්සේ කියා සිටියහ.

"විජේදාස ජනාධිපති අපේක්ෂක ලණුව ගිලලා"

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ, විජේදාස රාජපක්ෂ මහතා 2020 වසරේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ විපක්ෂය හා සිහල අන්තවාදී සංවිධාන කිහිපයක් විසින් දී ඇති ලණුව ගිල අමාරුවේ වැටී ඇති බවයි.

මිතුරු වෙසින් තම නිවස තුළ සතුරාගේ මිතුරා රැඳී සිටියි නම් එය විශාල හානියක් බවත් නිවසින් පිටමං වී ප්‍රහාර එල්ල කළාට කමක් නැති බවත් නලින් බණ්ඩාර මහතා පැවසිය.

එහෙත් නිවස තුළ සිට, හදපු යහපාලන රජය ඇතුළේ සිට විවේචනය කිරීමට ඉඩ දිය නොහැකි බව පවසන මන්ත්‍රීවරයා ඔහුව ඉවත් කරන ලෙස ඒකමතිකව ප්‍රකාශ කළේ ඒ නිසා බව අවධාරණය කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top