Sep 06, 2017

වැලිකඩ ඝාතනය : "සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න"

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කැෆේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

එමෙන්ම අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවන්ට වහාම ආරක්ෂාව ලබා දෙන ලෙස රජයට බලකරන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සාක්ෂිකරු සුදේශ් නන්දිමාල්ගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (සැප් 05) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

"මේ රජය සාක්ෂිකරුවන් ආරක්ෂා කරනවා වෙනුවට ඔවුන් අද සිද්ධ කරන්නේ ඝාතකයන් ආරක්ෂා කිරීමක්" යනුවෙන් එම මාධ්‍ය හමුවට එක් වූ සුදේශ් නන්දිමාල් මහතා සඳහන් කළේය.

2012 වසරේ නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරණයට පත් වී වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.

නිවසට වෙඩි ප්‍රහාරයක්‌ :

මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සාක්‌ෂිකරු වන මොරටුව පුරන්අප්පු මාවතේ පදිංචි සුදේශ් චන්දිමාල් මහතාගේ නිවසට පෙරේදා (04 දා) රාත්‍රි 11.00 ට පමණ වෙඩි ප්‍රහාරයක්‌ එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්‌ථාවේ චන්දිමාල් මහතා නිවසේ සිට ඇත.

නිවසේ ගේට්‌ටුවට වෙඩි වැදී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

වෙඩිතැබීම සඳහා පිස්‌තෝලයක්‌ වැනි ගිනි අවියක්‌ භාවිත කර ඇතැයි ද වෙඩි උණ්‌ඩ 05 ක්‌ ගේට්‌ටුවට එල්ල වී ඇතැයි ද හෙතෙම කීය.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පෙරේදා රාත්‍රියේම පරීක්‌ෂණ ආරම්භ කර තිබූ අතර වෙඩි තැබීමට පැමිණි කිසිවකුත් ඊයේ සවස්‌ වන විටත් හඳුනාගෙන නොතිබුණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top