Oct 04, 2017

RK - AM පර්පෙචුවල්හි ලිපි ගොනු 2ක්‌ ගැන ප්‍රශ්න කරයි

ආර්කේ (RK) සහ ඒඑම් (AM) යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුකරගත යුතු දේවල් (Things to do) සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගම විසින් ලිපිගොනු දෙකක්‌ පවත්වාගෙන ගොස්‌ ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (03 දා) හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය.

අර්ජුන ඇලෝසියස්‌ මහතා සහ ඔහුගේ පුද්ගලික සහකාර ස්‌ටීව් සැමුවෙල් අතර හුවමාරු වී ඇති දුරකථන කෙටි පණිවුඩ මගින් එය තහවුරු වන බවද ලිවේරා මහතා කීවේය.

අදාළ ජංගම දුරකථනවලින් එම දුරකථන කෙටි පණිවුඩ කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති බවද ලිවේරා මහතා කීවේය.

එම දුරකථන කෙටි පණිවුඩ තහවුරු කෙරෙන ලේඛන ද දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කර කොමිසම හමුවේ සලකුණු කළේය.

සාක්‌ෂිවල විශ්වාසනීයභාවය අභියෝගයට:

මෙම දුරකථන කෙටි පණිවුඩ වලින් කියවෙන දේවල් වලින් අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ කිසිඳු කටයුත්තකට සම්බන්ධව නොවූ බවට කොමිසමට මුලින් දුන් සාක්‌ෂිවල විශ්වාසනීයභාවය අභියෝගයට ලක්‌වන බවද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
 
 එහෙත් ඒඑම් (AM) හෝ ආර්කේ (RK) යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නේ යෑයි අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ඊයේ එම දුරකථන කෙටි පණිවුඩ සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කොමිසමට කීවේය.

  මෙහි ඒ. මහේන්ද්‍රන් ලෙස සඳහන් වන්නේ ඔබ (අර්ජුන මහේන්ද්‍රන් මහතා) යෑයි දප්පුල ද ලිවේරා මහතා විසින් අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින් කී අතර මහේන්ද්‍රන් මහතා එය ප්‍රතික්‌ෂේප කරමින් කීවේ තමා එසේ නොසිතන බවය.
 
 තවත් එවැනි දුරකථන කෙටි පණිවුඩයක අර්ජුන එම් ලෙස හැඳින්වුනත් ඒ නමින් හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නා බව ද සාක්‌ෂිකරු කීවේය.

කරුණානායක විසින් ප්‍රතික්‌ෂේප කළ බව :

එම පණිවුඩයේ ආර්කේ (RK) යනුවෙන් හැඳින්වෙන්නේ රවි කරුණානායක නේදැයි ලිවේරා මහතා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන් මහතා කීවේ රවි කරුණානායක මහතාව ආර්කේ (RK) යනුවෙන් කිසිවෙකු හඳුන්වන බව තමා නොදන්නා බවයි.

තමා ඔහු (රවි කරුණානායක මහතා) ගැන සඳහන් කරන්නේ රවි කේ (Ravi K ) යනුවෙන් බවද මහේන්ද්‍රන් මහතා කීවේය.
 
 ඊට සවන් දුන් දප්පුල ද ලිවේරා මහතා සිනහමුසුව කීවේ රවි කරුණානායක මහතාගේ සාක්‌ෂි විභාගයේදී රවි කේ (Ravi K) යනුවෙන් ඔහුව (රවි කරුණානායක මහතාව) හඳුන්වන බව කරුණානායක මහතා විසින් ප්‍රතික්‌ෂේප කළ බවයි.
 
 එසේම අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් කොමිසම හමුවේ ලේඛන සලකුණු කරන්නේ ඒඑම්(AM ) නමින් බව දප්පුල ලිවේරා මහතා අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින් කී විට ඒ බව මහේන්ද්‍රන් මහතා පිළිගත්තේය.
 
 එහෙත් මුලින්ම අර්ජුන මහේන්ද්‍රන් මහතා ඒඑම් (AM ) නමින් තමාව කිසිවෙකු හඳුන්වන්නේ නැතැයි කීවේය.
 
 ස්‌ටීව් සැමුවෙල් නැමැත්තා ගැන තමා කිසිවක්‌ නොදන්නා බවද අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසමට කීවේය.

(දිවයින)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top