Oct 04, 2017

'මල්වතු මහනාහිමිගේ එඩිතරභාවය අගයනවා' - බාහු (වීඩියෝ)

මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් එඩිතරව පෙනී සිටිම නව සම සමාජ පක්ෂ නායකයා මහත් සේ අගය කරයි.

බලය බෙදන නමුත් රට නොබෙදන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වන බව මල්වතු නාහිමියන් පැවසූ බව නව සම සමාජ පක්ෂ නායකය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊයේ (03) උන්වහන්සේ බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය මැයෙන් සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ එක්ව සංවිධානය කරන සත්‍යග්‍රහයක් නුවර දී පැවැත්වීමට පෙර එහි සංවිධායකයන් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ හමුවී නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළේය.

වික්‍රමබාහු කරුණාරත්න, ගාමිණි වියන්ගොඩ, ඩබ්. ජනරංජන, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

වරදවා අවබෝධ කර ගනිමින් :

රට දෙකඩ කරනවා යැයි ඇතමුන් ප්‍රකාශ කරන්නේ බලය බෙදීම, රට බෙදීම යැයි වරදවා අවබෝධ කර ගනිමින් ඇතැයි උන්වහන්සේ සදහන් කළ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

භික්ෂුන් වහන්සේ විනයෙහි පිහිටුවීම සම්බන්ධයෙන්ද මල්වතු මහ නාහිමියන් මෙහිදි ප්‍රකාශ කළ බව පැවසු ආචාර්ය වික්‍රමබාහු මහතා, බෞද්ධ කටයුතු අමාත්‍යංශය හරහා භික්ෂුන් ලියාපදිංචි කිරිම වැදගත් කම පෙන්වා දුන් බව සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු මෙන් වත්මන් යහපාලන රජයද භික්ෂුන් ලියාපදිංචිය සම්බන්ධ අණ පනත් මඟ හරිමින් සිටින බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සිවිල් සංවිධාන නියෝජිතයන් හට පෙන්වා දී ඇති අතර එයද ඉදිරියේදී සටන් පාඨයක් ලෙස ගෙන යාමට සිවිල් සංවිධාන නියෝජිතයන් උන්වහන්සේ හට පොරොන්දු වු බව නව සම සමාජ පක්ෂ නායකයා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top