Oct 17, 2017

'ඩලස්ගේ කතාව බොරු' - මහින්ද කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ඇප ලබාදීමට එරෙහිව තමන් විසින් කිසිඳු ලිපියක් අධිකරණය වෙත යොමු නොකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එවැනි ලිපියක් සම්බන්ධයෙන් තමා කරුණු නොදන්නා බව ඔහු අවධාරණය කර සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් එවැනි ලිපියක් යොමු කරන්නනේ නම් එය තමා විසින් හෝ ජනාධිපතිවරයා විසින් අත්සන් තැබිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 ඩලස් කියපු කතාව :

හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ඇප ලබාදීමට ඉදිරිපත්කර තිබු සුවිශේෂී කරුණු වලට හරස් වෙමින් සන්ධානයේ ප්‍රබලක් ලිපියක් මගින් අධිකරණය වෙත කරුණු දක්වා තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (16) මාධ්‍ය හමුවේ කියා සිටියේය.

 ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කළ විමසීමක දී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ලිපිය වෙනත් පාර්ශවයක් විසින් සිදුකර ඇති ද යන්න පිළිබඳව තමන් විමර්ශනයක් සිදුකරන බවයි.

 කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට රුසියාවේ පවත්වන ලෝක තරුණ උළෙල සඳහා ලැබූ ආරාධනා පුද්ගලික ආරාධානයක් බවට අධිකරණය වෙත ලිපියක් යොමු වී තිබු බවයි.

එමෙන්ම එම ලිපිය මගින් එය හුදෙක් විනෝද චාරිකාවක් බවටද අර්ථකථනය වී තිබු බව ද මන්ත්‍රිවරයා කියා සිටියේය.

ඉතාම දුර්ලබ ඉතා වටිනා අවස්ථාවක් :

නමුත් මෙම තරුණ සමුළුව තරුණයෙකු හට ලැබෙන ඉතාම දුර්ලබ ඉතා වටිනා අවස්ථාවක් බවත් තමන්ද කියුබාවේ හවානා නගරයේ පැවතී තරුණ සමුළුවකට සහභාගි වූ බවත් ඒ වැනි දෙයකට දේශපාලන පක්ෂයක ප්‍රධානින් මේ ආකාරයෙන් ලිපියක් අධිකරණයට හෝ පොලිසියට ඉදිරිපත් කර තිබෙන්නේ නම් ලජ්ජාවට මෙන්ම කණගාටුවට කාරණාවක් බව පාර්ලමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ ය.

කෙසේවුවද, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඊයේ අධිකරණය විසින් ඇප ලබා දෙනු ලැබුවේ රුසියාවේ පැවැත්වෙන විශේෂ සමුළුවකට සහභාගී වීම සඳහාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top