Sathosa

Oct 25, 2017

'අධිකරණයට ගියාම අපිව බය කරනවා' (update)

අධිකරණයට අපහාස කලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට නොවැම්බර් 21 වනදා යලි අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් යළිත් නොතීසි නිකුත් කර තිබේ.

මේ අතර අධිකරණයේ පෙනී සිටිමින් රන්ජන් රාමනායක අද (25දා) ප්‍රකාශ කර සිටියේ  පසුගිය 12 වනදා නිකුත් කළ නොතීසී තමන් වෙත නොලැබුණු බවයි.

තමන් අද දින අධිකරණයේ පෙනී සිටියේ ජනමාධ්‍ය ඔස්සේ ලද තොරතුරු වලට අනුව බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙහිදී මාධ්‍ය හමුවේ රන්ජන් රාමනායක සඳහන් කළේ "මගේ නීතිඥයන් මට නිතරම කියනවා අධිකරණයට ගරු කරනවා කියලා කියන්න කියලා.. මට ඇන ඇන මතක් කරනවා ඒක...
ඒකත් බලහත්කාරයක්නේ..අපි අධිකරණයට ගියාම අපිව බය කරනවා.. කෙල ගිලින්න බැහැ. ඉතින් අපිව බය කරන්න එපා." යනුවෙනි.

 තමන් අධිකරණයට හා නීතියට ගරු කරන බවත් බැඳුම්කර හොරු ඇතුළු සියල්ලන්ටම නීතියෙන් දඩුවම් ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පැවැසීය.

අඹගෙඩි තුනක් කඩා ගත් දුප්පත් කාන්තාව හිරේ යන බවත් විශාල වශයෙන් සොරකම් කළ පුද්ගලයින් වැඩි මුදලක් ගෙවා ජනපති නීතිඥවරුන් සමග එක්වී නීතියෙන් බේරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

update-11.25 am

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
 රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට  

අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නිකුත් කළ නොතීසියට අනුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද (25දා)  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ තිබේ.

පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන සුනිල් පෙරේරා ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවය.

පසුගිය 12 වන දා පෙත්සම කැදවු අවස්තාවේදී බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින්  නියෝජ්‍ය අමාත්‍යවරයාට  අදදින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර සිටියේය.

පසුගිය අගෝස්තු 21 මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තු නියෝජිතයෙකු මෙවැනි ප්‍රකාශයක් තුළින් මහජනායට නීතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව ද පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

ඡායා- Sandun Arosha F'do ගේ ටිවිටර් ගිණුම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top