Oct 31, 2017

Lanka IOC බාල තෙල් නැවේ පෙට්‍රල් ත්‍රි'මලේට බාලා !

නිමිත පවිත්‍රණය නොමැතිවීම හේතුවෙන් ගොඩබෑම ප්‍රතික්ෂේප කළ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විසින් ගෙන්වන ලද බාල පෙට්‍රල් (gasoline 93) නැවේ පෙට්ට්‍රල්වලින් කොටසක් ත්‍රීකුණාමලයට ගොඩබා තිබේ.

ආනායනික අදාළ පෙට්‍රල් තොගය කොළඹ වරායෙන් ගොඩ බෑමට මීට පෙර උත්සාහ ගෙන තිබූ අතර එහිදී අදාළ නැවේ ඇති පෙට්‍රල්වල සාම්පල ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ කොලොන්නාවේ පිහිටි රසායනාගාරයේදී අංශමය (Particulate) පරික්ෂාවට ලක් කිරීමෙන් පසුව ඒවා බාල ඒවා බව ඔප්පුවිය.

ඒ අනුව එම තෙල් තොගය ගොඩ බෑම ප්‍රතික්ෂේප කරන ලදී.

මේ පෙට්‍රල් තොගය ස්ටෝම් ඇස්ට්‍රිඩ් (Strom Astrid) නැමැති නෞකාවෙන් ගෙන්වා ඇති අතර එහි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත ලංකා ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තෙල් බාල තියෙන්නෙත් අනතුරුදායක විදිහකට

කෙසේවුවද, ස්ටෝම් ඇස්ට්‍රිඩ් (Strom Astrid) නැවෙහි පෙට්‍රල් ත්‍රීකුණාමලයට ගොඩ බෑම කර ඇත්තේ ඉතා අපරික්ෂාකාරී ක්‍රමවේදයක් අනුගමනය කරමින් නැවකින් නැවකට තෙල් බෑමේ ක්‍රමය මගිනි.

නැවකින් නැවකට පෙට්‍රල් හුවමාරු කිරීමට විශේෂ ස්ථාන ඇති බව පැවසෙන අතර හදිස්සියේ හෝ ගින්නක් ඇතිවූයේ නම් ඒවා නිවා දැමීමට ත්‍රිකුණාමලයේ ගිනිනිවන පහසුකම්ද නොමැති බව පැවසේ.

අදාළ ක්‍රමය යටතේ ස්ටෝම් ඇස්ට්‍රිඩ් (Strom Astrid) නෞකාවේ තිබූ බාල පෙට්‍රල්වලින් මෙට්‍රික් ටොන් 11,000ක් ත්‍රිමලේ මුහුදේදී යුනික් ඩිවලොපර් (Unic Developer) නැවට හුවමාරුකර තිබේ.

මේ අතර, ස්ටෝම් ඇස්ට්‍රිඩ් (Strom Astrid) නැවෙහි ඉතිරිවූ තෙල් තොගය කොළඹට ගොඩ බෑමට මේ අතර විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට අදාළ නැවෙන් පෙට්‍රල් තොගයක් ත්‍රිකුණාමලයට ගොඩබෑම නිසා ඉදිරියේදී එම ප්‍රදේශයෙන් ලබා ගන්නා පෙට්‍රල් බාල ඒවා විය හැකි බවද ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් අප සමඟ කියා සිටියේය.

සබැඳි පුවත්
ඉන්දියන් ඔයිල් පෙට්‍රල් නැවක බාල තෙල් !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top