Nov 11, 2017

2018 අයවැය: පරිසරවේදීන්ගෙන් කොළ එළියක් ! Featured

පරිසර හිතකාමි සංවර්ධන උපායමාර්ග සදහා මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.

දිගුකාලීනව සැලකීමේදී එය සාධනීය තත්ත්වයක් බව ඔහු කියා සිටියේය.

මෙම අයවැය ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කද පාදක කර ගනිමින් බව අයවැය කතාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය.

එහි තේමාව ලෙස ප්‍රකාශ වුයේද නීල හරිත ආර්ථිකයක් යන්නයි.

ප්‍රකාශිත මෙම අරමුණු අයවැයේ සැබෑ ලෙසම නිරූපනය වන්නේ දැයි කළ විමසීමකදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඉහත කරුණු දැක්විය.

පොලිතීන් සහ දුරකතන කුළුණු අධෛර්යමත් කිරීම:

පොලිතීන් සහ දුරකතන කුළුණු අධෛර්යමත් කිරීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාද ඔහු මෙහිදී අගය කළේය.

කෙසේවෙතත් එම යෝජනා ඵලදායීවීමට නම් කළයුතු තවත් දේවල්ද තිබෙන බව නීතිඥ ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පොලිතීන් සහ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සදහා කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 10 ක නිෂ්පාදන බද්දක් පැනවීමට අයවැයෙන් යෝජනා විය.

කෙසෙල් පට්ටා, තාල වර්ගයේ පත්‍ර, කොහු, උණ බම්බු වැනි දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිත කරමින් මළු සහ ඇසුරුම් නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරන බවද අයවැය යෝජනාවල සදහන් විය.

දිරාපත් වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා භාවිත කරන සියළු යන්ත්‍ර සුත්‍රඅමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ තීරු බදුවලින් නිදහස් කිරීම තවත් අයවැය යෝජනාවකි.

දුරකතන කුණුළු මත හදුන්වාදී ඇති නව බද්ද එක් කුළුණක් සදහා මසකට රුපියල් ලක්‍ෂ දෙකක් වේ.

එම බද්ද දුරකතන කුළුණු ක්‍රියාකරුවන් විසින් මාසිකව ගෙවිය යුතු බවද අයවැය යෝජනාවල සදහන් වේ.

(නෙත් නිව්ස්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top