Nov 20, 2017

'මහවිරු සමරුවටම ‘ආවා’ පැමිණීම සැකයි' Featured

කඩු කල්ලි මහවිරු සමරු සමයටම හිස එසවීම දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා සැලසුම් සහගතව සිදුවන්නක් බවට උතුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු සැක පහල කරයි.

පසුගිය දෙදින තුල උතුරේ කඩු ප්‍රහාර අටකට සැක කෙරෙන හය දෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයි රජය පවසන අතර යාපනයේ පොලිස් මුරකාවල් දැඩි කොට සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙමින් පවතී.

යටපත් වී පැවති ප්‍රචණ්ඩ ක්‍රියා හදිසියේම වැඩිවීම සමගින් සන්නද්ධ පොලිස් භට පිරිස් යෙදවීම මහවිරු සමරු ඉලක්ක කොටගෙන සිදුවන්නක් දැයි සැක මතුවන බව උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥානම් යාපනයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

සාගලගේ ප්‍රකාශය :

මෙම ප්‍රහාර ‘ආවා’ නමැති කල්ලියේ කටයුත්තක් බව රජයේ නිවේදනයක් ඔස්සේ ප්‍රකාශ කොට ඇති නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක යාපනය පොලිස් කොට්ඨාසයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි දැනුම් දී තිබේ.

පොලිසිය විසින් මැඩ පවත්වන ලද බව කී ආවා කල්ලිය නැවත හිස එසවීම පසුපස කිසියම් කුමන්ත්‍රණයක් වේදැයි විමසා බැලීම කෙරේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව උතුරු පළාත් සභාපතිවරයා කියා සිටී.

“අපරාධ වලට විරුද්ධව පියවර ගත යුතුවා වාගේම, දෙමළ ජනතාව බියගන්වා ඔවුන්ගේ විරුවන් සැමරීමේ කටයුතු අඩාළ කිරීමේ සැලසුමක් තියෙනවාද කියා සොයා බැලීමත් වගකිවයුත්තන්ගේ වැඩක්,” යයි සීවීකේ සිවඥානම් පැවසීය.

ගිය අවුරුද්දෙත් ආවා:

පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ මහවිරු සමරුව පැවැත්වීමට දෙමළ ජනතාව සූදානම් වෙද්දී ‘ආවා’ නමින් උතුරේ මතුවූ කඩුගත් කල්ලි හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම ඇතිව යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කරන ලද්දකැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ “ත්‍රස්තවාදයක් වත් හමුදාවේ වැඩක්වත් නොවන” බව පවසමිනි.

එවර කඩු කල්ලි කාගේදැයි ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි සාගල රත්නායක අමාත්‍යවරයා මෙවර පවසා සිටියේ “ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස එසවීමට ඉඩ නොදෙන” බවයි.

නගරයේ පුළුල් ලෙස යොදවා ඇති සන්නද්ධ පොලිස් භට කණ්ඩායම් විශේෂයෙන්ම යතුරු පැදි වල ගමන් ගන්නා පිරිස් නවත්වා සෝදිසි කරනු දැකගන්නට හැකි බව යාපනය වාර්තාකරුවන් පවසති.

(radiogagana)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top