Sathosa

Nov 28, 2017

''මහින්දලාගේ කොන්දේසි වලට යටවෙන්නේ නැහැ'' - මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මහින්ද රාජපක්ෂ පාර්ශ්වය අතර මැතිවරණයට එක්ව තරග කිරීම ගැන එකඟතාවක් ඇතිවුවත් එය ඇති වන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ කොන්දේසි අනුව නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව 'පුරවැසි බලය' සංවිධානය පවසයි.

2015 ජනාධිපතිවරණයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දුන් සිවිල් සංවිධාන නායකයන් කිහිප දෙනෙකු හා ජනාධිපතිවරයා අතර පෙරේදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව සාකච්ඡාවට එක්වූ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා 'බීබීසි සිංහල සේවය'ට පැවසීය.

මැතිවරණයට එක්ව තරග කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපතිවරයා පිළිගත් බව පැවසූ ගාමිණී වියන්ගොඩ මහතා, එය එක්සත් ජාතික පක්ෂය සමග තිබෙන ජාතික ආණ්ඩුවට ගැටලුවක් නොවන බව ඔහු ප්‍රකාශ කළේ යැයි ද පැවසීය.

බැඳුම්කර හඹය :

බැඳුම්කර කොමිසම හරහා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ උත්සාහයක නියැලෙන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පසුගිය සතියේ චෝදනා කළ අතර ජනාධිපතිවරයා ද ඊට දැඩි ප්‍රතිචාර දැක්විය.

ජාතික ආණ්ඩුවේ දෙපාර්ශයම අතර ඇතිව තිබෙන මෙම මතගැටුම සමථයකට පත්කිරීම සඳහා සිවිල් සංවිධාන නායකයන් ජනාධිපතිවරයා හමුව තිබේ.

ගොඨාභය දේශපාලනයට?

මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරයා වැළැක්වූ බවට පළවන අදහස් ගැන ජනාධිපතිවරයාගෙන් විමසු බව ද ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

ස්වාමින් වහන්සේ පිරිසක් තමන් හමුවීමට පෙර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගත යුතු බවට තීරණය කර තිබු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව පවසන ගාමිණි වියන්ගොඩ මහතා, අගමැතිවරයා රටේ නොමැතිවිට එවැනි අත්අඩංගුවට ගැනීම් සිදු නොවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළ බව කියා සිටියේය.

අගමැතිවරයා පසුගිය සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නියැලී සිටි අතර ජනාධිපතිවරයා ඊයේ විදේශගතවීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර තිබුණි.

රාජපක්ෂ ආණ්ඩුවේ මහාපරිමාණ වංචා ?

රාජපක්ෂ ආණ්ඩුවේ සිදුවූ බව පැවසෙන මහාපරිමාණ වංචා සඳහා ද බැඳුම්කර සිද්ධියට දැමු කොමිසම මෙන් ජනාධිපති කොමිෂන් පත්කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සිවිල් සංවිධාන නායකයන් හමුවේ පැවසූ බව ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටියේය.

(මූලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top