Dec 03, 2017

'නව ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍යයි' - චන්ද්‍රිකා

රටට නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

2015 වසරේ බල පෙරළියෙන් පසු රටට ලබාදුන් පොරොන්දු අනුව රටේ නිදහස තහවුරු කිරීම සදහා මේ වනවිට පියවර ගෙන ඇති බව එහිදී ඇය සදහන් කළාය.

නව ව්‍යවස්ථාව කඩිනම් කරන්නැයි නිමල් කියයි:

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කමිටුවට සහභාගි වන ශ්‍රීලනිප කණ්ඩායමේ නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු පිළිබඳව එජාපය සහ ශ්‍රී ලනිපය අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා පක්ෂ දෙක අතර කඩිනමින් විශේෂ සාකච්ඡාවක් සිදු කළ යුතු බවයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ යෝජනාව සිදුකර ඇත්තේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති දේශපාලන නියෝජිතයන්ගේ සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාවට සහභාගි වී ඇති එජාප, ජවිපෙ සහ සුළු ජාතිකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් කිසිදු නියෝජිතයකු ඊට සහභාගි වී නොමැති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය එම සාකච්ඡාව සඳහා සහභාගි වී නොමැත්තේ පසුගිය සාකච්ඡා වාරයක දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර සිදුවූ මතභේදකාරී තත්ත්වය හේතුවෙනි.

එම සාකච්ඡාවේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව මේ වන විට එජාපය සහ ශ්‍රී ලනිපය අතර කිසිදු තීරණාත්මක සාකච්ඡාවක් සිදු වී නොමැති බැවින් එවැනි සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය හැකි බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top