Sathosa

Dec 03, 2017

'අන්තවාදීන් සමග ගිවිසුම් ගහන්නේ නැහැ' - රාජිත

අන්තවාදින් සමග අතරමග දී ගිවිසුම් වලට එළඹෙන්නේ නැතිව යහපාලනය ඉදිරියට ගෙනයාමට රජය සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ අලුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී ඊයේ (02) පස්වරුවේ පැවති රැස්වීමකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

“අපේ ජිවිත වලට සහජීවනය ඇති වුයේ බේරුවල සිටින කාලයේයි. ඉන් පසු කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ දී මුස්ලිම් ජාතික දරුවන් සමග එකට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වුනා. 1956 වනවිට අපේ රටේ විවිධ ජාතීන් වෙනුවෙන් විද්‍යාල බිහි වී තිබුනේ නැහැ. එම නිසා ජාතික සහජීවනයක් තිබුනා.

පසුකාලීනව එම නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වී විවිධ ජාතින් වෙනුවෙන් විද්‍යාල බිහි වුනා. එම නිසා තමයි සහජීවනය අවම වුනේ. අපි සියලු දෙනාම මිනිසුන්. නමුත් ජාතිය, ආගම පළමු තැනට ගෙන මිනිසත්කම ඉවත දානවා. ආගමික අන්තවාදීන් බිහි කරනවා. එම නිසා රටවල් විනාශයට පත් වෙනවා. මෙම අන්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගත යුතුයි. ජනවාරි 08 පොරොන්දුව එයයි.”

මහින්ද මැන්ඩලා කරන්න ගිහින් ?

“පසුගිය රජය සමයේ දී සුලු ජාතීන් දෙවන තැනට දමා තිබුනා. ඒ කාලයේ පාලකයෝ හිතුවේ සුලු ජාතීන් තමන් ලගට ඇවිත් උපකාර ලබාගත යුතු බවයි.

මම මේ පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පැහැදිලි කළේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යා සහ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩලාගේ චරිත උදාහරණයට ගනිමින්. මට අවශ්‍ය වුනේ හිටපු ජනාධිපතිවරයා ආසියාවේ නෙල්සන් මැන්ඩලා කිරීමටයි.

නමුත් එතුමා තෝරා ගත්තේ රොබට් මුගාබේ ගේ චරිතයයි.

නෙල්සන් මැන්ඩලා ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයෙක්. නමුත් රොබට් මුගාබේ ආර්ථීකය කොල්ල කාලා ජනතා සිතුම් පැතුම් බොද කළා. පසුගිය දිනවල රෝබට් මුගාබේ බලයෙන් පහ කර හමුදාව බලය ඇල්ලුවා. කිර්තිමත් මනුස්සයෙක් අවසන් ගමන් ගියේ එහෙමයි. කිර්තිමත් ගමනක් යෑම සදහා සහජීවනය ඉතාම අත්‍යාවශ්‍යයයි.

අන්තවාදයෙන් රටවල් සංවර්ධනය වන්නේ නැහැ. අන්‍ය ආගම් වලට ද ගරු කළ යුතුයි. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගිය යුතුයි. වර්තමානයේ මූලධර්මවාදීන් නිසා මැද පෙරදිගත් විනාශයට පත්වෙනවා. නමුත් අන්තවාදී අදහස් විද්‍යාවෙන් බොරුවක් බව ඔප්පු කර තිබෙනවා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top