Dec 05, 2017

'රාජපක්ෂලාගේ මන්ත්‍රීකමත් නැති කරන්න පුළුවන්'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව යටතේ වෙනත් පක්ෂයකට අනුබල දීම නීති විරෝධී ක්‍රියාවක් බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අද (05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඒ තුළින් පක්ෂයෙන් නෙරපා හැර මන්ත්‍රීකම් පවා උසාවිය මාර්ගයෙන් අහිමි කිරීමේ හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

දැන් ලෝකය බොහෝ දියුණු වී ඇති බවත් නවීන තාක්ෂණය සියලු දෙනාට තිබෙන බැවින් ගමේ පවත්වන රැස්වීම් සඳහා ද පුද්ගලයින් යවා තොරතුරු රැස් කර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එනිසා ඉහළ සිට පහළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙක් පිළිබඳ දැන ගත හැකි බව ද ඔහු තව දුරටත් පැවසීය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකතු විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ බවත් පොහොට්ටුව සමඟ එක්වීම නොකළ යුතු ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වීමට තවමත් ඉඩ ඇති බවත් එසේ නොවුන ද මැතිවරණයේ දී ශ්‍රීලනිප ය නිසැකයෙන් ජය ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 


සබැඳි පුවත් :

ඒකාබද්ධයේ 45කගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමේ සුදානම ගැන ජී. එල්. ගේ මතය මෙන්න 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top