මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ මෙතෙක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ තමන් ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) එක් වීමට හේතු පැහැදිලි කරමිනි.
ශ්‍රීලනිපයට එක්වීමත් සමග ඔහුට නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.
එහෙත් ජනාධිපතිවරයා තමන්ට එවැනි කිසිදු ප්‍රතිඥාවක් ලබා නොදුන් බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා,"ඕව එක එක්කෙනා කියපු මතනේ. නීතිය හා සාමය රටේ තියාගන්නයි අපි බලන්නේ, අපිට ගන්න නෙවෙයි," යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.
කෙසේවුවද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන්නේ, වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා, තමා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ධුරය බාර ගැනීමට කැමති බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවයි.
වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා
මෑතක් වන තුරු ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබැවූ පියසිරි විජේනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී කුමාර තමන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ "ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ" පක්ෂයක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එම පක්ෂය බෙදා වෙන් කිරීමට "විවිධ බලවේග ක්‍රියාත්මක වන" බැවින් පක්ෂයට ශක්තියක් වීම පිණිස තමන් ශ්‍රීලනිපයට එකතු වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම "බලවේග" කවුරුන් දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායකයා කියා සිටියේ පොදු ජන පෙරමුණ නමින් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඒකාබද්ධ විපක්ෂයේ අවශ්‍යතා නොවන බවය.
"2015 මැතිවරණ කාල සීමාවේ බෙදීමක් හටගත්ත. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවල තවත් පක්ෂයක් හැදීමට තරම් ප්‍රබල ද කියන ප්රශ්නය අපි ඉස්සරහ තියෙනව."
ජාතික නිදහස් පෙරමුණ තුළ වසරකට වැඩි කාලයක් සිය ස්ථාවරය පැහැදිලි කළත් එයින් ප්‍රතිඵලයක් අත් නොවූ බව ද වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.
'ඕන කෙනෙකුට යන්නත් පුළුවන්. ඉන්නත් පුළුවන්''
මේ අතර හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙනේ දී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඇතැම් මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව යන්නේ "ආසන බෙදාගැනීමට බැරිව" බවය.
"බලයේ ඉන්නකොටත් එහෙමයි, විපක්ෂේ ඉන්න කොටත් එහෙමයි. ඕන කෙනෙකුට යන්නත් පුළුවන්. ඕන කෙනෙකුට ඉන්නත් පුළුවන්," ඔහු පැවසීය.