Dec 18, 2017

පොලිතින්වලින් පෙට්‍රල් හදන්න ගිහින් රජයේ ලක්ෂ 2500ක් වතුරේ Featured

ඉවතලන ප්ලාස්ටික්වලින් ඉන්ධන සැදීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ආරම්භ කර තිබූ අර්ධ වාණිජ ව්‍යාපෘතියකට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 250,36ක් (කෝටි 25 ක් පමණ) ලබාදුන්නද එය අසාර්ථකව ඇතැයි විගණන කටයුතු සිදු කිරීමේදී අනාවරණය වී තිබේ.

ඛනිජතෙල් නිෂ්පාදන ආනයන පිරිවැය අවමකර රුපියල් මිලියන 30ක විදේශ විනිමය ඉතිරි කිරීම අදාළ ව්‍යාපෘතියේ ඉලක්කය වී ඇත.

අදාළ ව්‍යාපෘතියට අනුව රුපියල් හතලිහකට අලෙවි කෙරෙන නිෂ්පාදිත දැවිතෙල් ලීටරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 350ක් වැය වන බව පැවසේ.

මෙතෙක් නිෂ්පාදනය කර ඇත්තේ දැවිතෙල් ලීටර් 39,600ක් බවත් ඉන් උපයාගෙන ඇති මුදල රුපියල් 1,584,000 ක් බවද වාර්තා වේ.

ව්‍යාපෘතියේ අරමුණ අනුව වසරකට ඉවතලන ප්ලාස්ටික් කිලෝග්‍රෑම් හයලක්ෂ හැට දහසක් ප්‍රයෝජනයට ගැනීමට නියමිත වුවද, පසුගිය කාලයේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තේ ඉවතලන ප්ලාස්ටික් කිලෝග්‍රෑම් විසිදෙදහසක් පමණි.

වසර 2015 ජූලි 15 වැනිදා වන විට මේ ව්‍යාපෘතියට මහා භාණ්ඩාගාරයෙන් වරින්වර රුපියල් මිලියන 250.36ක් ලබාදී තිබේ.

මේ සඳහා වූ අර්ධ වානිජ යන්ත්‍රාගාරය බලගන්වා ඇත්තේ 2015 සැප්තැම්බර් 03 වැනිදාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top