Dec 18, 2017

"රුසියාවේ තේ තහනම දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි”

රුසියාව විසින් මෙරට තේ ආනයනය කිරීමට තහනමක් පනවා ඇත්තේ දේශපාලන කාරණාවකට බවට පැතිර ඇති වාර්තා අසත්‍ය බවත් එවැනි කාරණාවක් මෙම තහනමට අදාළ නැති බවත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දොස්තර සමන් වීරසිංහ මහතා කියයි.

ඔහු මේබව කියා සිටියේ ශ්‍රී ලංකා මිරර් ඔහුගෙන් කළ විමසීමකදීය.

අදාළ තේ කන්ටේනරය තුළ කප්ප්‍රා (Khapra beetle) නම් කුරුමිණි විශේෂය හමුවීම ශ්‍රී ලංකාවේ තේ ගැනීම තහනම් කිරීමට එකම හේතුව බවද ඔහු කීය.

මීට පෙර 1987 වසරේදී කප්ප්‍රා (Khapra beetle) නම් කුරුමිණි විශේෂය රුසියාවට ඇතුළුවීමෙන් එරටට ඩොලර් මිලියන 5,000ක පමණ අලාභයක් සිදුවූ බවද වීරසිංහ මහතා කියා සිටියේය.

එම කුරුමිණියා එරට ඉරිඟු වගාවට හානි සිදුකරන බවද ඔහු කීය.

මේ තත්ත්වය මතුවූ වහාම තමා රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළ බවත්, අප හා සම්බන්ධවීමට පෙරද තමා එවැනි සාකච්ඡාවකට සහභාගිවූ බවද ඔහු කියා සිටියේය.

එසේම, මේ තත්ත්වය රුසියානු තානාපති කාර්යාල මාර්ගයෙන්ම විසඳා ගැනීමට හැකියාවක් ඇති බවට තමාට විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. (වීඩියෝ)

තානාපති ධූර කාලය දික්කරයි

මේ අතර, සමන් වීරසිංහ මහතාගේ ධූර කාලය ලබන දෙසැම්බර් 26 වැනිදායින් අවසන්වීමට නියමිත අතර, ඔහු සිය සමුගැනීමේ සාදයද ඉකුත් දෙසැම්බර් 20 වැනිදා රුසියාවේදී පවත්වා තිබිණි.

කෙසේවුවද, මේ තත්ත්වයත් සමඟ ජනාධිපතිවරයා වීරසිංහ මහතාට අදාළ ගැටලුව විසඳගන්නා තෙක් රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරන ලෙස දන්වා ඇති බවද වාර්තා වේ.

රුසියානු රහස් ඔත්තු

රුසියානු රහස් ඔත්තු නිලධාරීන් ඇමරිකාවට හොර රහසේම භාරදීමට ලංකා රජයේ සූදානමක් ඇති බවට පලව ඇති වාර්තා අසත්‍ය බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ නිළධාරියා මේවන විට ද රුසියාවට ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top