Sathosa

එම වැළඳගැනීම ඇයට සුබ පැතීමේ අරමුණින් මිස වෙන යටි අරමුණකින් යුතුවුවක් නොවේ එම වැළඳගැනීම ඇයට සුබ පැතීමේ අරමුණින් මිස වෙන යටි අරමුණකින් යුතුවුවක් නොවේ
Dec 23, 2017

"ප්‍රසිද්ධියේ සෙනෙහස පෙන්වීමේ" වරදට පාසලෙන් නෙරපයි

පාසල් සිසුවෙකු සහ සිසුවියක එකිනෙකා වැළඳගැනීමෙන් "ප්‍රසිද්ධියේ සෙනෙහස පෙන්වා සිටීමේ" වරදට පාසලෙන් නෙරපීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

බීබීසී ඉන්දියානු වාර්තාකරු අෂ්රෆ් පදන්නා මෙම සිද්ධියට මුහුණ දුන් දරුවන් සහ එයට අදාළ අනෙක් පාර්ශ්ව සමග කළ සාකච්ඡාව පහත දැක්වේ.

කේරලයේ, ශාන්ත තෝමස් මධ්‍යම විද්‍යාලයේ පැවැත්වූ ගායනා තරගයකට සහභාගී වූ 15 වියැති සිසුවිය, ඉන් අනතුරුව 16 හැවිරිදි පිරිමි යහළුවාගෙන් තම ගායනය කෙසේදැයි අසා සිටියාය. එයට ප්‍රතිචාර දක්වමින් ඔහු ඇය වැළදගෙන ඇත්තේ ඇයට සුභ පැතුම්ද එක් කරමිනි.

"මෙය (වැළඳගැනීම) තත්පරයක් හෝ දෙකක් ඇතුළත වුන දෙයක්" බව පවසා සිටි සිසුවිය, ඇයගේ ඡායාරූප ලබාදීමට අකමැති බව ද බීබීසී සමග පැවසුවාය.

"තව හුඟක් ළමයින් සහ ගුරුවරුන් අප වටේ හිටියා, මට තේරුණේ නැහැ මම වැරැද්දක් කළා කියලා"

නමුත් එක් ගුරුවරයෙක් දිගින් දිගටම මේ ක්‍රියාව පිළිබඳව විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇති අතර, සිසුවියගේ වචනයෙන් කියතොත් එය "සියලු අපාය බිදී ගියා වගේ".

සිද්ධියට පසුදා, එනම් ජුලි 22, මොවුන් දෙදෙනාගේම පාසල් ගමන දින නියමයකින් තොරව අත්හිටුවා ඇති අතර, නොවැම්බර් 22 වෙනිදා සිසුවා පාසලෙන් නෙරපා ඇත. මේ දෙදෙනාගේම නම් මාධ්‍යයට හෙළි කර නැත.

 99334231 99315872 stthomascentralschoolmukkolakkalthiruvananthapuramkerala 4 1
පාසලේ තීරණය දැඩි ලෙස විවේචනයට ලක්වී ඇත.

"පාසල් යාමෙන් දරුවාගේ ගුණ ධර්ම ද වර්ධනය වෙන්න ඕනෙ", විදුහල්පති සෙබස්තියන් ටී. ජෝසෆ් බීබීසී සමග පැවසීය. "අපි එයාට සමාව ගන්න අවස්ථාවක් දුන්නා, හැබැයි ඔහුට හෝ ඔහුගේ දෙමව්පියන්ට කිසිදු කනස්සල්ලක් නැහැ", ඔහු තව දුරටත් පවසා සිටියා.

නමුත් සිසුවා කියා සිටියේ ඔහු "එසැනින්" සමාව අයැද සිටි බවය.

සිසුවිය පාසලට නැවත සම්බන්ධ වී නැති අතර, පාසලේ ඇති වාර්තා සහ ලේඛනවලට අනුව ඇය තවමත් පාසලේ ලියාපදිංචි වී නොමැත.

සිසුවිය මෑතකදී ඩුබායි සිට ඉන්දියාවට පැමිණ ඇති අතර, ඇයගේ පියා එහි රැකියාවක නිරත වේ. ඇය ශාන්ත තෝමස් විද්‍යාලයට පසුගිය ජූනි මස සම්බන්ධ වූ අතර, මෙම සිද්ධිය වන අවස්ථාව වන විට ද පාසලට ලියාපදිංචි වීමේ ලියකියවිලි සම්පූර්ණ කර තිබී නැත.

මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට පාසල විසින් පිහිටවනු ලැබූ විනය කමිටුවක් ඉදිරියේ සිසුවාට සහ සිසුවියට පෙනී සිටීමට දන්වා ඇත.

පාසලෙන් දුන් චෝදනා පත්‍රය බීබීසී සතුව ඇත. මෙම සිසුන්ට "අශෝබන, අසභ්‍ය සහ අවිනීත ලෙස ප්‍රසිද්ධියේ ස්නේහය පෑම" සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

මෙම දරුවන්ගේ පෞද්ගලික සමාජ ජාල ගිණුම්වල ඇති පිංතූර සහ කතාබහ ද මෙම චෝදනා පත්‍රයෙන් දැඩි ලෙස විවේචනය කර ඇත්තේ, ඒවායින් මොවුන් දෙදෙනා අතර "කුලුපග, නිශ්චිත, අශ්ලීල, අශිෂ්ට සහ පිළිකුල් සහගත" සම්බන්ධයක් ඇති බව ඔප්පු වන බව පවසමිනි.

"මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පෞද්ගලික දෙයක් සහ ඒක බලන්න පුළුවන් මගේ අනුගාමිකයන්ට විතරයි" සිසුවා බීබීසී සමග පවසා සිටියේය. "චෝදනා පත්‍රයේ තිබෙනවා වගේ ඒකෙ කිසිම අශිෂ්ට හෝ පිළිකුල් සහගත දේවල් නැහැ", ඔහු තවදුරටත් පවසා සිටියේය.

සිසුවා මෙම චෝදනා පත්‍රයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ එම වැළඳගැනීම ඇයට සුබ පැතීමේ අරමුණින් මිස වෙන යටි අරමුණකින් යුතු වුවක් නොවන බවය.

කමිටු සාමාජිකයින් සතුව තමාගේ හා අදාළ සිසුවාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඇති ඡායාරූපවල පිටපත් තිබූ අතර තමන්ට නොයෙක් අපවාදාත්මක නම් වලින් කතා කළ බව සිසුවිය ප්‍රකාශ කර සිටියාය.

"එක් සාමාජිකයෙක් මට බැල්ලි කියා ආමන්ත්‍රණය කළා" ඇය තවදුරටත් පැවසුවා.

 99334234 99315876 generalimagesofschoolkidsfromthiruvananthaputam 6
පාසල ඇයගේ අධ්‍යාපනයට ඇති අයිතිය උල්ලංගනය කර ඇති බවට සිසුවිය පවසා සිටියාය.

මෙම කමිටුව සිසුන් වැරදිකරුවන් බවට තීරණය කරන විට, ඔවුන්ට මාස 4 කට අධික කාලයක් පාසල් යාමට නොහැකි වී ඇත.

මේ අතරේදී සිසුවාගේ දෙමව්පියන් පාසලේ තීරණයට එරෙහිව කේරළ ළමා ආරක්ෂණ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිසුවාගේ පාසල් තහනම ඉවත් කරන ලෙසට නියෝග කර ඇත.

එම නියෝගයට එරෙහිව පාසල කේරළ මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී. පාසලට තම "තත්ත්වය සහ කීර්තිය" ආරක්ෂා කර ගැනීමට මෙවැනි තීරණයක් ගැනීමට අයිතියක් ඇති බවත්, ඒ හේතුවෙන් සිසුවා පාසලින් නෙරපීමට ගත් තීරණය තවදුරටත් බලාත්මක බවත් මහාධිකරණ නියෝගයේ සඳහන් වේ.

නත්තල් නිවාඩුවෙන් පසු අධිකරණය නැවත ආරම්භ කිරීමෙන් පසු මහාධිකරණ නියෝගයට එරෙහිව අභියාචනා කිරීමට සිසුවාගේ දෙමව්පියන් බලාපොරොත්තු වේ.

 99334235 99308803 boy
ඔවුන් මාස 4 කට අධික කාලයක් පාසල් ගොස් නැත.

"අපි අධිකරණය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ", සිසුවාගේ පියා පවසා සිටියේය. තම දරුවාගේ පාසල් ගමන නතර වූ දින සිට ඔහු රැකියාවට නොයා මෙම ප්‍රශ්නය විසඳීමට වෙහෙසෙන අතර, තම දරුවාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පාසලේ කිසිදු නිලධාරියෙකු නැති වුවත්, ඔවුන් එම ගිණුමේ පළ කල පෞද්ගලික ඡායාරූපවල පිටපත් අධිකරණයට පවා ඉදිරිපත් කර ඇති බවට ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙය සිසුවාගේ පාසලේ අවසන් වසර වන අතර මෙම සිද්ධිය හේතුවෙන් ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමිවී යා හැකි බව මව පවසා සිටියාය.

පාසල් නිලධාරීන් බීබීසී සමග පවසා සිටියේ ඔවුන් සිසුවාට වෙනත් පාසලකට මාරුවීමට අවස්ථාව ලබා දී ඇති බවය.

පසුගිය බ්‍රහස්පතින්දා සිසුවාට ලිපියක් එවමින් විදුහල්පතිතුමන් දන්වා ඇත්තේ ජනවාරි මස 3 වෙනිදා නැවත පරීක්ෂණයකට පැමිණෙන ලෙසය.

නමුත් සිසුවියගේ තත්ත්වය තවමත් පැහැදිලි නැති අතර ඇයගේ දෙමව්පියන් අධිකරණයේ පිහිටා පැතීමට තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

ඇය වෙනත් පාසලකට අයැදුම් කර ඇතත්, මෙම සිද්ධිය හේතුවෙන් එම අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත.

(බීබීසී සිංහල සේවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top