Dec 23, 2017

බණ්ඩාරනායක නාමය මකන්න හැදු අය මැතිනියගේ පින්තුර ගහලා - ජනාධිපති Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බණ්ඩාරනායක නාමය මකන්න කටයුතු කල උදවිය අද බණ්ඩාරනායක මහතාගේ හා බණ්ඩාරනායක මැතිනියගේ ජායාරුප යොදා ගනිමින් ජි.එල්. පිරිස් මහතාගේ පක්ෂයේ මැතිවරණ කටයුතු සිදුකිරීම දෛවයේ සරදමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ ඊයේ (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීම අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ශ්‍රීලනිප මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජනාධිපතිවරයාගේ දිස්ත්‍රීක් සම්බන්ධිකරණ නිලධාරීන් හා නීතිඥයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියේය.

ශ්‍රීලනිපයේ සැම අභ්‍යන්තර රැස්වීමක් ආරම්භයේදී පක්ෂයේ නිර්මාතෘවරයාණන් වන බණ්ඩාරනායක මහතා සහ ඉතාම දුෂ්කර යුගයක පක්ෂය ආරක්ෂාකළ බණ්ඩාරනායක මැතිනිය සිහිපත් කිරීමට විනාඩි දෙකක් නිශ්ශබ්දව සිටීමේ සම්ප්‍රදායක් පැවති බවත් 2011 එම සම්ප්‍රදාය අහෝසි කිරීමට කටයුතු කල බවත් ජනාධිපතිවරයා එහිදී පැවසිය.

''මම පක්ෂයේ හිටපු මහ ලේකම්. 2011 වසර මුලදී මට හිටපු විධායක ජනාධිපති ගෙන් නියෝගයක් ලැබුනා පක්ෂයේ කටයුතු වලදී බණ්ඩාරනායකවරු සිහිපත් කිරීමේ සම්ප්‍රදාය නවත්වන්න කියලා. එසේ අහෝසිකළ සම්ප්‍රදාය යලි ආරම්භ කලේ මම ජනාධිපතිවෙලා පක්ෂයේ නායකයා වුනාට පස්සේ.

පක්ෂ මුලස්ථානය තිබුන බණ්ඩාරනායක වරුන්ගේ ජායාරුප ඉවත් කරන්නත් මේ උදවිය කටයුතු කළා ..

එහෙම බණ්ඩාරනායක නාමය මකන්න කටයුතු කල උදවිය මේ මැතිවරණයේදී ජි. එල්. පිරිස් මහත්තයාගේ පක්ෂයේ ප්‍රචාරක කටයුතු වලට බණ්ඩාරනායක මහත්තයාගේ ජායාරූප යොදාගෙන. බණ්ඩාරනායක මැතිනියගේ ජායාරුප යොදාගෙන. දෛවයේ සරදම කියන්නේ මේකට..''

හරි අතට - එක මිටට - නොකිලිටි ගමනක් :

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පිරිසිදු දේශපාලන දර්ශනයක් සහිතව බව එහිදී අවධාරණය කල ජනාධිපතිවරයා, එම දර්ශනය ඉදිරියට ගෙනයාම පක්ෂයේ වගකීම බවද කියා සිටියේය.

හරි අතට - එක මිටට - නොකිලිටි ගමනක් ශ්‍රීලනිපයේ තේමා පථයක් විය යුතු බවද පැවසිය.

බණ්ඩාරනායකවරු හිටිය නම් කවදාවත් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top