මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරී සජින් ද වාස් ගුණවර්ධන මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරී සජින් ද වාස් ගුණවර්ධන
Dec 25, 2017

මිහින් ලංකා දුෂණ : සජින් ද වාස්ට නඩු පවරයි ! Featured

මිහින් ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියා ලෙසින් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩු පවරනු ලැබ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා ද වන සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පවරා තිබෙන්නේ සිංගප්පූරු සමාගමකට රුපියල් මිලියන 883 ක ලාභයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ බවට එල්ල වන චෝදනා මතය.

මිහින් ලංකා සමාගම 2013 වසරේ රුපියල් බිලියන 3.3ක පාඩුවක් ලැබූ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පැවති කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තාවක් සඳහන් විය.

මිහින් එයාර් ගැනත් ජනාධිපති කොමිසමක්:

SLankan Maithree 670px 25 12 17

මේ අතර ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදු වූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමක් ලබන ජනවාරි මස මුල සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා (දෙසැම්බර් 24) පෙරවරුවේ කඩුවෙල සති පොළ භූමියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතමින් පැවසිය.

"මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක් කළ" අදාළ ගුවන් සේවාවන් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් වංචාවට දූෂණයට හා අක්‍රමිකතාවයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥා දුන්නේය.

කෙසේ වුවත් ගතව ගිය තෙවසර තුළ රාජපක්ෂ පාලනය සමයේ සිදු වූ බරපතල දූෂණ, වංචා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වූ බවට ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් පවතී.

weliamuna report

වැලිඅමුණ කමිටුවේ වාර්තාව අගමැතිවරයා වෙත භාර දුන් අවස්ථාව

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ආයතනවලට රුපියල් බිලියන ගණනින් පාඩු කළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි දැයි නොදන්නා බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ පිළිබඳව සොයා බැලීම පිණිස දින සියයේ ආණ්ඩුව සමයේ නීතිඥ ජේසී වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව 2015 අප්‍රේල් මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබූ නමුත් මෙතෙක් එහි කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කරන ලද බවක් වාර්තා වී නැත.

අග්‍රාමාත්‍ය කාර්යාලය මගීන් නිකුත් කරන ලද සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වූ ආකාරයට සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර තිබේ.

එවකට ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතාය.

ආයතන ප්‍රධානියා සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූට ලේඛන සකසා නිශාන්ත වික්‍රමසිංහ වෙනුවෙන් අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගනු ලැබ ඇති බවත් වැලිඅමුණ වාර්තාවේ සඳහන්ව තිබිණ.

Sarathwijesuriya

"ජනවාරි 08 පැතූ යහපාලනය මේකද?" - සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

මේ අතර මේ වසර මුලදී මාධ්‍ය හමුවක් ඇමතූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ, රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ පැවති 'මාෆියාව' තවමත් ක්‍රියාත්මක වන බවය.

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික ගුවන් සේවයේ මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් අමාත්‍යවරයා ඒ අවස්ථාවේ සඳහන් කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලන්කන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා හමුවට කැඳවා කරුණු විමසා තිබිණ.

වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයටත් චෝදනා :

එමෙන්ම දූෂණ සහ වංචා පිළිබඳව වත්මන් ආණ්ඩුවට ද බරපතල චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ, වංචා චෝදනා හමුවේ ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' පළමු වරට අනාවරණය කළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් විමසීම පිණිස අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇමතූ අවස්ථාවේ අමාත්‍යවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

ශ්‍රීලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපි බාරදේ !
මිහින් ලංකා හා ශ්‍රීලන්කන් වංචා දුෂණ සොයන්න ජනපති කොමිසමක් !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top