Jan 03, 2018

'බැඳුම්කර සිද්ධියේදී අගමැතිගේ වගකීම විධිමත්' - ජනපති Featured

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ වගකීම විධිමත් බව බැඳුම්කර වාර්තාවේ සඳහන් වන බව ජනාධිපතිවරයා පවසයි.

"මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බව බැඳුම්කර වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වෙනවා" යයි ජනාධිපතිවරයා කියා සිටියේ, බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

නීති විරෝධී ලෙසින් මුදල් උපයාගෙන :

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීති විරෝධී ලෙසින් මුදල් උපයාගෙන ඇතැයි බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසිය.

එබැවින් එමගින් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි කොමිසම නිර්දේශ කර තිබේ.

 

MR with kabraal 900px 02 01                                                  '2008 සිටම අයථා කටයුතු සිදු වී තියනවා ...''

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී 2008 සිටම අයථා කටයුතු සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් අවශ්‍ය බවත් ජනාධිපති බැඳුම්කර කොමිසම නිර්දේශ කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරියේ මහ බැංකුවේ නිලධාරීන් අකර්මණ්‍ය වී ඇති අතර, හිටපු අධිපතිවරයා බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බවත් කොමිසමේ නිගමනය කර ඇත.

 

Arjun mahendran 900px 02 01                                                   හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්

"මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තිරණ ගැනීමේ ක්‍රියාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා.

මෙම ක්‍රියාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා" ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය.

ප්‍රධාන පක්ෂ දෙකටම චෝදනා :

බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තා පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

එම කොමිෂන් සභාවේ කටයුතු සඳහා රජයට වැය වූ වියදම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අය කර ගතයුතු බව කොමිසම පෙන්වා දෙන බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකටම එමගින් චෝදනා එල්ල කර තිබෙන බව ද සඳහන් කළේය.

බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිෂන් සභාව මීට ඉහතදී තමන්ට ලබා දුන් වාර්තා 17ක් මේ වනවිටත් ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර, අඟහරුවාදා තමන්ට ලබා දුන් වාර්තා 17ත් ඉක්මනින්ම නීතිපතිවරයා වෙත යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශපාලන පක්ෂයක් ඉලක්ක කර නැහැ :

කිසිදු දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන තමන් එම කොමිසම පත් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම සාමාජිකයන් චෝදනා ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා එබැවින් එය කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගත් ක්‍රියාමාර්ගයක් නොවන බවත් පෙන්වා දුන්නේය.

"රවිට එරෙහිව නඩු පැවරිය හැකියි"

බැඳුම්කර වංචාවේ දී චෝදනා ලබන්නන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ නඩු පැවරීම සඳහා පවතින නීතියේ යම් සංශෝධන සිදුකළ යුතුව ඇතිබව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් ඇති බවත් ප්‍රකාශ කළේය.

බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතාට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර කොමිසන් සභාවට අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු බව බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති ප්‍රකාශයේ ඇතුළත් විය.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

ජනපතිගේ විශේෂ ප්‍රකාශය
වීඩියෝ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top