Sathosa

Jan 10, 2018

'අගමැතිට එරෙහි විශ්වාස භංගය අද කතානායකට' Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මඟින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව අද (10දා) දින කතානායක කරු ජයසූරිය මහතාට භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු බව සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව මේ වනවිට නීති විශාරදයන් විසින් කෙටුම්පත් කර අවසන් බවද ඒ මහතා සඳහන් කරයි.

මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කිරීම අද (10දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් සිදුකරනු ලබන බවත් ඉන්පසුව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදීමට කටයුතු කරන බවත් අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැවැසීය.

එරෙහි වෙන්නේ අනුබලදෙන අය !

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට එරෙහි සියලුම ජනතා නියෝජිතයන්ට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා අවස්ථාව තිබෙන බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

එම නිසා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාගේම එක්සත් ජාතික පක්ෂයේත් ජනතා නියෝජිතයන්ටද මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

යම් හෙයකින් මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට යමකු ක්‍රියා කරනවා නම් එම පුද්ගලයා අනිවාර්යෙන්ම බැඳුම්කර වංචාවට අනුබල දුන් පුද්ගලයකු බව රටට හෙළි කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

දිනන්න බැරි වේවි - වාසු දෙගිඩියාවෙන්

Vasu 670px 07 12 17

''වත්මන් යහපාලන ආණ්ඩුව තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකියි'' - වාසුදේව

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවසුයේ, ඒකාබද්ධ විපක්‍ෂය විසින් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාසභංග යෝජනාව නිසා පැහැදිලිවම වත්මන් යහපාලන ආණ්ඩුව තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළද දූෂණයට හා වංචාවට විරුද්ධ පිරිසක් සිටින අතර එක්සත් ජාතික පක්‍ෂය තුළ ද පක්‍ෂ නායකත්වය පිළිබඳව සැහීමකට පත් නොවන පිරිසක් මේ මොහොතේ සිටින බව ද වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංගය ජය ගැනීම හෝ පරාජය වීම කෙසේ වෙතත් හොරකම සහ වංචාවට එරෙහිව තම අරගලය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් සිදුකරන බවද වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

LakshmanKiriella 670px 07 09 17

විශ්වාස භංගයක් ගෙනාවොත් තුනෙන් දෙකක බහුතරයෙන් පරදවනවා

ඒකාබද්ධය විසින් ගෙන ඒමට නියමිත විශ්වාස භංගය පිළිබඳව කල විමසීමකදී සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුයේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය තුනෙන් දෙකක බහුතරය පාර්ලිමේන්තු ජන්දයකින් අන්ත පරාජයකට පත් කරන බවයි.

විශ්වාස භංගයකට මුහුණ දීමට ජාතික රජය ඕනෑම අවස්ථාවක සුදානම් බවද අමාත්‍යවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දුනහොත් හැකි විගසම එය විවාදයට ගෙන ජන්ද විමසීමකට ලක් කරන බවත් එය පරාජය කිරීම කිසිදු අභියෝගයක් නොවන බවද ඇමතිවරයා අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top