Jan 23, 2018

අකිලගෙ අමාත්‍යංශය රෙදි කඩයක්?

පසුගිය 2016 වසර සඳහා මුද්‍රණය කළ රුපියල් විසිකෝටි විසිහතර ලක්‌ෂයකට අධික වටිනාකමින් යුත් පාසල් නිල ඇඳුම් වවුචර් පත් බෙදා නොහැර අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉතිරිව තිබූ බව විගණකාධිපති වාර්තාව අනාවරණය කරයි.

එම වර්ෂය වෙනුවෙන් රුපියල් දෙසිය හැට එක්‌ කෝටි හැට පන් ලක්‌ෂයකට අධික වටිනාකමින් යුත් වවුචර් පත් මුද්‍රණය කර ඇති නමුත් කලාප කාර්යාලය ඔස්‌සේ පාසල් වෙත නිකුත් කළ ප්‍රමාණයේ වටිනාකම රුපියල් විසි හතර කෝටි දාහතර ලක්‌ෂයකි.

නිකුත් කළ වවුචර් පත් සඳහා බැංකු මගින් ලැබී තිබුණු මුදල රුපියල් විසි දෙකෝටි හැටහත් ලක්‌ෂයක්‌ පමණ වූ හෙයින් රුපියල් දාහතර කෝටි හැට හතර ලක්‌ෂයකට අධික වටිනාකමින් යුත් වවුචර්පත් කලාප කාර්යාල, ගුරුවරුන් හෝ ශිෂ්‍යයන් අතර රඳවාගෙන තිබූ බවද විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව මුද්‍රණය කළ සමස්‌ත වවුචර් පත්වලින් රුපියල් තිස්‌ හතර කෝටි අසූ නව ලක්‌ෂයකට අධික වටිනාකමින් යුත් වවුචර් පත් ඉතිරිව තිබී ඇත.

වවුචර් පත් නොලද බවට කිසිදු පැමිණිල්ලක්‌ නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබූ නමුත් එක්‌ පාසලක පමණක්‌ රුපියල් පනස්‌ හතර දහස්‌ හත්සිය පනහක්‌ වටිනා වවුචර් පත් 199 ක්‌ බෙදා නොහැර තිබූ බවත් ඒ අනුව වවුචර් පත් බෙදා හැරීම නිසි පරිදි අධීක්‌ෂණය වී නොමැති බවත් එම වාර්තාව සඳහන් කරයි.

2015 වසරේදී එක්‌ ශිෂ්‍යයකු වෙනුවෙන් වැය කළ වියදමට සාපේක්‌ෂව 2016 වසරේ වවුචර් පත් ලබා දීමේ ක්‍රමයේදී එක්‌ ශිෂ්‍යයකු වෙනුවෙන් වැයකර තිබූ වියදම සියයට 16.51 කින් වැඩි වී තිබූ බවද එම වාර්තාව පෙන්වා දෙයි.

"ශ්‍රී ලංකා මිරර්" මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පාසල් නිළ ඇඳුම් වවුචර්පත් ලැබී නොමැති බවට කිසිදු පැමිණිල්ලක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී නොමැති බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top