Feb 02, 2018

අලෝසියස්ගේ ආයතන 24 ක බැංකු ගිණුම් තහනම දිගු වෙයි

මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් පසුගිය සතියේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් තහනම් කිරීමට ගත් තීරණය කොළඹ මහාධිකරණය මගින් දීර්ඝ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද (01) කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම ගිණුම් අත්හිටුවීම දින 30 ක් වලංගු වන අතර එය නැවත අලුත් කිරීමේ හැකියාවක් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශව මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශවයක් වෙත ගලායෑම වැලැක්වීමේ අරමුණින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

සේවක වැටුප් ගෙවීමට බාධාවක් නැහැ :

මෙසේ තහනමට ලක් කළ සියලුම බැංකු ගිණුම් එකින් එක ගෙන පරීක්ෂාවට ලක්කිරීමට මහ බැංකුවෙන් පියවර ගෙන ඇති අතර එසේ කරනු ලැබ ඇත්තේ සේවක වැටුප් ගෙවීම වැනි එදිනෙදා කටයුතු  කරගෙන යෑමට එම සමාගමට පහසුකම් සැලසීම සඳහාය.

එම නිරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ බැංකු ගිණුම් හරහා සිදුවන නෛතික මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බව ද අදාළ ආරංචි මාර්ග කියයි. 

මහ බැංකුව මගින් මෙසේ බැංකු ගිණුම් තහනම් කරනු ලැබ ඇති සමාගම් අතර පර්පචුවෙල් ටේ‍රෂරීස් පුද්ගලික සමාගම, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගම, ඉන්ටග්‍රේටඞ් මීඩියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ද වේ. 

මිට පෙරත් ගිණුම් දෙකක් තහනම් කරලා !

භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සඳහා පර්පචුවෙල් සමාගම විසින් පවත්වාගෙන ගිය ගිණුම් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මීට ඉහතදී තහනම් කරනු ලැබූ අතර අලුත්ම තහනම පනවා ඇත්තේ ඊට අමතරවය. 

කලින් තහනම් කළ වත්කම්වල වටිනාකම මුදලින් රුපියල් බිලියන 12.5කි. මෙයින් රුපියල් බිලියන 7.5ක් මුදල් වන අතර ඉතිරි ඒවා සුරැකුම්පත් වේ. 

එම තහනම ඉවත් කර ගැනීම සඳහා පර්පචුවෙල් සමාගම් සමූහය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද ප්‍රතික්ෂේප කෙරිණි.
 
මුදල් විශුද්ධිකරණය රෙගුලාසි සහ පරිපාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි. 

පර්පචුවෙල් සමාගම ප්‍රාථමික හා ද්විතීය වෙළෙඳපොළේ කරන සියලු වෙළෙඳ කටයුතු තාවකාලිකව නවතා දැමීමට මූල්‍ය මණ්ඩලය තීරණ කර තිබිණි. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top