Sathosa

Feb 04, 2018

'උතුරට මහා පරිමාණ ආයෝජන එපා'- විග්නේස්වරන් (වීඩියෝ) Featured

උතුරට මහා පරිමාණ කර්මාන්ත ගැලපෙන්නේ නැති බව ජාත්‍යන්තර ආයෝජකයන් සමූහයක් හමුවේ කියා සිටි පළාතේ මහ ඇමැතිවරයා වාණිජ ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර ප්‍රදේශයේ කාලගුණය, සමාජය හා සංස්කෘතිය පිළිබඳව ආවබෝධයක් ඇති කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඇලදොළ ගංගා නොමැති උතුරුකරයේ මහා පරිමාණ කර්මාන්ත ස්ථාපිත කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන යැපුම් මාර්ගය වන කෘෂිකර්මයට අවශ්‍ය භූගත ජලය විනාශ වීමේ අවදානමක් ඇතැයි මහ ඇමැති සීවී විග්නේස්වරන් අනතුරු අඟවා සිටියේ යාපනයේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයක සමාරම්භක දේශනය පවත්වමිනි.

යුද්ධයේ අවසානය සමග ජන ජීවිතය යහපත් අතට හැරෙනු ඇතැයි උතුරු නැගෙනහිර ජනතාව අපේක්ෂා කළද එම සුබදායක තත්වය උදා වූයේ නැතැයි හැත්තෑවකට අධික ඉන්දියානු සමාගම් සංඛ්‍යාවක නියෝජිතයන්ගේ හමුවේ මහ ඇමැතිවරයා කනගාටුවට පත් විය.

දෙපළාත කොල්ල කෑම:

“විදේශ සමාගම්, මූල්‍ය  ආයතන හා ජාත්‍යන්තර සමාගම් උතුරු නැගෙනහිරට ඇතුල් වෙලා පළාත් දෙකේ මුදල් සහ සම්පත් කොල්ල කෑවා,” යි සී වී විග්නේශ්වරන් ප්‍රකාශ කළේය.

“විශේෂයෙන් මුල්‍ය ආයතන මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා ආසාවල් ඇති කරලා අපේ වැඩි දෙනෙක් ණය කාරයෝ කළා. ඔවුන් අය කරන වැඩි පොලිය නිසා හැම තරාතිරමකම ජනතාව ණය කාරයෝ වෙලා. සමහරු ජීවිත නැති කරගෙන තියෙනවා.”

කෙසේ වෙතත්, සෑම භාෂාවකට  සහ ආගමකට ගරුකරන,  සියලු ජාතීන්ට සමතැන්හි ලා සලකන  ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමෙන් තොරව ආර්ථික වශයෙන් සංවර්ධනය ලඟා කර ගත නොහැකි බව උතුරේ මහ ඇමතිවරයාගේ අවධාරණය විය.

“මෙම ආණ්ඩුව බලයට පත් කරපු දෙමළ ජනතාවට සැබෑවටම ගරු කරන්නේ නම් ෆෙඩරල් ක්‍රමය යටතේ ස්වයං තීරණයේ අයිතිය ලබා දිය යුතුයි.”

JITF 600px 18 02 04

සල්පිලට විරෝධය:


මේ අතර උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට කිසිදු උවමනාවක් හෝ උනන්දුවක් නොදක්වන ඉන්දියානු බහුජාතික සමාගම් අධිකාරයක් දරන වෙළෙඳ ප්‍රදර්ශනයකට උතුරු පළාත් සභාව සහාය දීම ගැන පළාතේ කර්මාන්ත කටයුතු භාර අමාත්‍යවරිය විරෝධය පල කර තිබේ.

හුදෙක්ම කොළඹ පිහිටි සමාගම්වල සහ මහ ආණ්ඩුවේ වුවමනාව හා අපේක්ෂාව මත පමණක් පවත්වන සල්පිලේ මුලික අරමුණ වන්නේ  උතුරේ ජනතාවගේ මුදල් සූරාකෑම බව කාන්තා කටයුතු, පුනරුත්ථාපනය, සමාජ සේවා, ආහාර හා කර්මාන්ත ඇමැතිනී ආනන්දි ශෂිධරන් යාපනයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියාය.

යාපනය මහ නගර සභාව, ශ්‍රී ලංකා සම්මේලන කර්යාංශය සහ ජාත්‍යන්තර ව්‍යාපාර මණ්ඩලයේ සභාය ඇතිව වාණිජ සහ යාල්පානම් කර්මාන්ත මණ්ඩලය සමඟ එක්ව ලංකා ප්‍රදර්ශනය හා සම්මේලන සේවා සමාගම විසින් සංවිධානය කරනු ලැබූ සල්පිල සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශය, යාපනයේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අනුග්‍රහය දක්වා තිබුනි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top