Pasidol
Sathosa Ad Final Sinhala
Feb 13, 2018

'මිනිස්සු ඇඟට ගොඩවෙනවා' -එජාපයට විකල්ප තුනක් ? Featured

“හවුල් ආණ්ඩුවේ ඉන්නවාද, තනි ආණ්ඩුවක් කරනවාද, විපක්ෂයට යනවාද,” යන විකල්ප තුනම එජාපය තුල දීර්ඝ ලෙස සාකච්ඡාවට ගන්නා ලද බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා 'රේඩියෝ ගගන' වෙබ් අඩවිය හා පැවසීය.

ජනාධිපතිවරයා ඊට අනුග්‍රහය දක්වනු ඇති බවට දැඩි විශ්වාසයක් පලකළ අමාත්‍ය වරයා ආණ්ඩුව තුල හිඳිමින් ඊට බාධා කරන රාජපක්ෂ වාදී බලවේග පාලනය කළ යුතු බව කියා සිටියේය.

“හැබැයි, අපි පොරොන්දු වූ දේ කරන්න අපිට පසුබිමක් තියෙන්න ඕනේ,” යි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී අවධාරණය කළේය.

“මොකද මේක ඇතුලේ ඉඳන් මේක බ්ලොක් කරනවානම් අපිට ඒක ඉෂ්ට කරන්න බැරි උනාම මිනිස්සු අපේ ඇඟට ගොඩවෙනවා. ඒක වෙන්න දෙන්න බෑ.”

කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බහුතර මතය වී ඇත්තේ 2015 දී ජනතාවට දුන් පොරොන්දු බාධාවකින් තොරව ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් හවුල් ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යා යුතු බවයි.

'බරපතල විවේචනයක් තියනවා'

MangalaSamaraweera 670px 18 08 18

“දැඩි පියවර ගැනීමට බැඳී සිටිනවා ''

අවුරුදු තුනකට ඉහතදී රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සඳහා දුන් පොරොන්දු “ප්‍රමාණවත් ලෙස ඉටු කර නොමැති” බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයෙන් පෙනී යන්නේයැයි එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙලේ නායකයන් කිහිප දෙනකුම පිළිගෙන තිබුනි.

එම පණිවිඩය එජාපයේ “පතුලටම කිඳී ගොස්” ඇතැයි පවසන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා තුන් අවුරුද්දකට ඉහතදී දුන් පොරොන්දු ඉටුකර ජනතා විශ්වාසය පවත්වාගෙන යාම සඳහා “දැඩි පියවර ගැනීමට බැඳී සිටින” බව ප්‍රකාශ කර ඇත.

හොරකම් සහ අපරාධ සම්බන්ධ පරීක්ෂණ වලට ආණ්ඩුවේ ඉහලම තැන්වලින් බාධා පැමිණෙන බවට දිගටම නැගුනු චෝදනා හවුල් ආණ්ඩුව පිහිටුවීමේ විශාල කාර්යභාරයක් කළ අමාත්‍යවරයා පිළිගෙන තිබුනි.

හොරුන් සහ මරුවන් නිදැල්ලේ:

“ජරාජීර්ණ වූ අධිකරණ පද්ධතියකට පසුගිය තුන් අවුරුද්ද තිස්සේ කඩිනම් ක්‍රියාකාරිත්වයක් සහ ස්වාධීන භාවයක් කාවැද්දීම සඳහාත්, සංකීර්ණ අපරාධ සාර්ථක ලෙස විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය ආම්පන්න ලබාදී පොලිසිය බලගැන්වීම සඳහා වූ අපේ අවංක උත්සාහය තිබියදීත්, මිනීමරුවෝ සහ වංචනිකයෝ නිදැල්ලේ හැසිරෙති,” යි මංගල සමරවීර අමාත්‍යවරයා මැතිවරණයේ පරාජය පිළිගනිමින් නිකුත් කළ නිවේදනයක කියා තිබුනි.

“කඩුවෙන් පාලනය වන රටක් බවට ශ්‍රී ලංකාව නැවත පත් නොවීම” සඳහා අවංක ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එකතුවීමේ අභිලාශය මුදල් අමාත්‍යවරයා විසින් පල කර තිබුනි.

ශ්‍රීලනිපයට අභියෝගයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සමගින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා තිබුනේ තවත් අමාත්‍යවරුන් සමග ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා ජනතාවට දුන් පොරොන්දුව ඉටු කිරීම ජනාධිපතිවරයාගේත් අවශ්‍යතාව බව 'රේඩියෝ ගගන' හා කියා සිටි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා, ඊට බාධා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැති වරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස අභියෝග කර සිටියේය.

“බාධා කරපු කට්ටියට ගිහිල්ලා රාජපක්ෂ එක්ක එකතු වෙන්න පුළුවන්,” යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ආණ්ඩුව විසුරුවීම:

ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන බලවත් ඉල්ලීම ව්‍යවස්ථාව ගැන නොදන්නා අයකුගේ ප්‍රකාශයක් බවට අවඥාවෙන් බැහැර කළ ආචාර්ය ද සිල්වා මහතා “දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තියෙද්දී හිතෙන හිතෙන වෙලාවට ආණ්ඩුව විසුරුවන්න බෑ,” යි කියා සිටියේය.

මේ අතර, පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනපති – අගමැති දෙපල එකඟතාවකට එළැඹ නැති බව ජනාධිපති කාර්යාංශය පවසයි.

“පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවයකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කෙරේ,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති කෙටි නිවේදනයක සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top