Sathosa

Feb 15, 2018

'එජාප ආණ්ඩු හදන්න යන ශ්‍රීලනිප අයට ඇමැතිකම් නෑ' - ජනාධිපති Featured

කවුරුන් හෝ වෙනත් අය සමඟ ආණ්ඩු හදන්න කටයුතු කළහොත් ඒ අයට ඇමැති තනතුරු දෙන්න තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ශ්‍රීලනිප ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබේ.

''රනිල් එක්ක තවදුරටත් ආණ්ඩු නොකරන්න සන්ධානය පැහැදිලි තීරණයක් ගෙන තියනවා. රනිල් අගමැතිව කරන ආණ්ඩුවකට අපේ පක්ෂයේ කව්රුහරි එකතු වුනොත් ඒ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා මන්ත්‍රී ධුරය අහෝසි කරන්න ජනාධිපතිතුමා තීරණය කර තියනවා...'' යයි ද එම ඇමතිවරයා කියා සිටියේය.

රනිල් අගමැතිවිම අනුමත කරන්න බැහැ - අමරවීර

 100032873 9986edde c11a 428c ace8 b3b1803506a3
එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ජනපතිට යැවූ ලිපිය

මේ අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම සිය පක්ෂයට එකඟවිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන නව රජයක් පිහිටුවිය යුතුයැයි අපේක්ෂාකරන බව පවසන ඔහු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එජාප - ශ්‍රීලනිප ගිවිසුමේ කාලය අවසන් :

ඔහු සිය ලිපියෙන් පෙන්වාදෙන්නේ වර්ෂ දෙකක කාලයක් සඳහා සම්මුතිවාදී රජයකට එකඟතාව පළවුවත් දැන් එම කාලය ඉකුත්වී ඇති බවකි.

එම කාලය තුළදී අගමැතිවරයාගේ නායකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම අසීරු වුවද සිය මැති ඇමතිවරුන් සාමුහික බව ගරු කළේ යැයි ඔහු කියා සිටී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දූෂණ මැඩලීම වෙනුවට මහා බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාණ වංචා අගමැතිවරයාගේ දැනුම මත සිදුවූ බව රටට රහසක් නොවේ යැයි සිය ලිපියෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආර්ථික කළමනාකරණය මෙන්ම යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු තමන්ට ද එකඟවිය නොහැකි, දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙලකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලැබූ තීරණ නිසා වර්තමානයේ ජනමතය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියේ දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top