Feb 16, 2018

අගමැති ඉවත් කරන්න ජනපතිට බැහැ - වජිර ව්‍යවස්ථාව පැහැදිලි කරයි Featured

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාව පත් කිරීමට බලය තිබුණත් ඉවත් කිරීමේ බලය නොමැති බවත් ඒ අනුව අග්‍රාමාත්‍යවරයෙක් මාරු කිරීමේ බලය තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා සතුවම පමණක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ 19වැනි සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයෙක් මාරු කිරීම සඳහා තිබෙන ක්‍රමවේදය වන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් ලිපියක් ලියා අස්වීම බව අවධාරණය කරන අමාත්‍යවරයා එසේ කර තිබෙන්නේ ජාතික ආණ්ඩුවක ස්ථාවරභාවය ඇති කිරීම සඳහා බව සඳහන් කරයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

අගමැතිගේ ජනවරම අවලංගුවී වී නැහැ :

පළාත් පාලන ආයතන 2015 ජනවාරි 8වැනි දාත් අගෝස්තු 17 වැනිදාත් ලද වරම තිබියදීම පළාත් පාලන ආයතනත් එළෙසෙම ක්‍රියාත්මක වූ අතර නැවත අලුත් ක්‍රමයක් හඳුන්වා දීම තුළ එය යම්කිසි ව්‍යවස්ථානුකූලව පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු සකස් වූ බව අමාත්‍යවරයා එහිදී පැවසිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති සහ අගමැති පත් වුවත් මහ ඇමතිට ලැබුණ වරම අවලංගු නොවූ බව පැහැදිලි බවද පළාත් පාලන ආයතනවලට ලැබුණ වරම අවලංගු නොවූ බව ද පැහැදිලි කළ වජිර අබේවර්ධන අමාත්‍යවරයා, කාලය අවසන් වීමෙන් පමණක් ඒවා අහෝසි වූ බව අවධාරණය කළේය.

'ජනාධිපතිතුමා ව්‍යවස්ථාව දන්නවා ; දන්නේ නැති අය කියවන්න'

වර්තමාන ජනාධිපති කාලය තුළ සහ අනාගතයේ ස්ථාවරත්වය සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව 19 වැනි සංශෝධනයෙන් සුරක්ෂිත කර තිබෙන බැවින් එය නොතේරෙණ අ‍යකු සිටී නම් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත කියවා බලා තේරුම් ගැනීම වඩා හොඳ බව ඔහු වැඩිදුරටත් පැවසිය.

ජනාධිපතිවරයාට මේ පිළිබඳ හොඳ අවබෝධයක් සහ හසළ දැනුමක් ඇති බැවින් මාධ්‍ය මොනවා කිව්වත් එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33:1 අනුව කටයුතු කරන අතර රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46:1 අනුව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අගමැතිතුමාට ඉවත් වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කළ ද තමන් දැනුවත්ව එවන් දැනුම් දීමක් සිදු කර නැති බව පැවසු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දේශපාලන අර්බුදයක් ඇති වූ අවස්ථාවක විවිධ අය මතු කරන විවිධ අදහස් හා මත පාලනයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නොවන බව අවධාරණය කළේය.

2/3 ක බලයක් අවශ්‍යමයි :

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා 2/3 ක බලයක් අවශ්‍ය බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225න් පැමිණි මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3ක් නොව මන්ත්‍රීවරු 225 ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් වජිර අබේවර්ධන අමාත්‍යවරයා පැහැදිලි කළේය.

''රටේ ස්ථාවරභාවය ඇති කළ යුතු නිසා මහජනතාවගේ ආරක්ෂාව සඳහා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කර තිබෙන්නේ ස්ථාවර ආණ්ඩුවක්. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යන තනතුරු දෙකම එකතු කර තමයි ලියා තියෙන්නේ.

වෙනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලියවිලා තිබුණේ නෑ. ජනාධිපතිවරයාට ලියුමක් යවලා අගමැතිවරයාව අයින් කරන්න පුළුවන්. දැන් එසේ කරන්න බෑ. පත් කරන්න පුළුවන්. පත් කළාට පස්සේ, බහුතරය හිටියත් එකයි, නැතත් එකයි, පාලනය ගෙන යන්න පුළුවන්'' යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top