ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යය විසින් ඇති කරගෙන ඇති AUKUS ආරක්ෂක ගිවිසුම, ඒ රටවලට ඉදිරියේදී අනිසි ලෙස බලපානු ඇති ‘අනවශ්‍ය’ පියවරක් බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
“මා හිතන්නේ එය වැරදි උපායමාර්ගික පියවරක්, මට හිතන්නේ ඔවුන්ට වරදක් වුනා,” යැයි වික්‍රමසිංහ මහතා පවසා ඇති බව ඇමෙරිකානු සඟරාවක් වන ‘නැෂනල් රිවිව්’ වාර්තා කරයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම් අතරතුර පැවැත්වුනු ඉන්දු-පැසිෆික් දූපත් කතිකාවත අතරතුරේදීය.
ලංකාවේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා තමා ඇමෙරිකාව හා චීනය අතර මැද මාවතක ගමන් කරන බවත් ජනාධිපතිවරයාගේ අදහස් වලින් පිළිබිඹු වූ බවද ‘නැෂනල් රිවිව්’ සඟරාවේ දැක්වේ.
තවද, ඔහු පවසා ඇත්තේ 2022 අගෝස්තු මාසයේදී ලංකාවට පැමිණි යුවාන් වැන්ග් 5 නෞකාව පර්යේෂණ යාත්‍රාවක් බවයි. සිය රජය විසින් මෙවැනි නෞකාව සම්බන්ධයෙන් සම්මත ක්‍රියා පටිපාටියක් සකස් කර ඇති බවත් ඔහු මෙහිදී පවසා ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා ඇත්තේ චීන රජය සතු සමාගමක් වන චයිනා මර්චන්ට් සමූහයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ඉදිකෙරුනු නව වරාය (හම්බන්තොට), චීන හමුදාවට කිසිම සම්බන්ධයක් නැති බවයි.
වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා ඇත්තේ තම ජීවිත කාලය පුරාවට මහා බල කඳවුරු වල මාරුවීම් තමා දුටු බවයි.
කෙසේවෙතත්, මෙම කතාබහ සම්බන්ධයෙන් මෙරට ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ දක්වා නිවේදනයක් නිකුත් කර නොමැත.
(මූලාශ්‍රය : නැෂනල් රිවිව්)