Connect with us

පුවත්

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය ව්‍යාපෘතිය ඇරඹේ

Published

on

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා එසේම, මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.

රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩුවලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවද පැවසීය.

එසේම මහජන දේපළ සොරකමට සමාජයක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීතියට යටත් විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිනකට රිය අනතුරුවලින් අට දෙනකු පමණ මිය යන බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බවයි. ඒ අනුව ශක්තිමත් මාර්ග නීති පද්ධතියක අවශ්‍යතාව පැහදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්ග තදබදය වළක්වා ගැනීමට, විෂ වායු විමෝචනය අවම කර ගනිමින් පාරිසරික හානිය අවම කර ගැනීමට සහ වාහන ආනයනය වෙනුවෙන් රජය දරන අධික වැය බර අඩු කර ගැනීම සදහා පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන්නේය.  

ඒ අනුව, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය, දියුණු, පහසුකම් සහිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා රජයෙන් සිදු කරන ආයෝජනවලට අමතරව, පෞද්ගලික අංශයටද ආයෝජන අවස්ථා විවර කර තිබෙන බව පැවසීය. 

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවයකින් සන්නාමගත කිරිමට රජය සමඟ එක් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෞද්ගලික අංශයට ආරාධනා කළේය.  

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන  පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 

මාර්ග ආරක්ෂණ  ක්‍රියාකාරී සැලැස්ම (The  Road Safety Action Plane 2025 – 2026) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේ විශේෂයෙන් මාර්ග තදබදය නිසා පමණක් වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයට 2%-3% අතර ප්‍රමාණයක් අහිමි වන බවයි. 2012 වසරෙන් පමණ පසු ජනතාව විශාල වශයෙන් පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් සිටින අතර ඒ අනුව අනාගතයේදී පිට්ටනි තරම් පාරවල් හැදුවත් ප්‍රවාහන ගැටලු සම්පූර්ණයෙන්ම 
නොවිසඳෙන බැවින් ඒ වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම අද අනිවාර්ය වී ඇති බවයි.

ඒ වෙනුවෙන් ඉදිරියේදී සිය අමාත්‍යාංශය කොට්ටාව සිට අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගය සහ අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා නව දුම්රිය මාර්ග ඉදිකිරීම, භාණ්ඩ ප්‍රවාහනය  සදහා දුම්රිය සේවා යොදා ගැනීමට අදාළ පහසුකම් සංවර්ධන කිරීම, දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී සංචාරක කර්මාන්තය සදහා දැනට අතහැර ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පුද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීම මෙන්ම ඉදිරි අයවැයෙන් නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව පැවසීය.

එම්.අයි.සී.ඩී ඇසෝසියේට්ස් සම නිර්මාතෘ සහ ප්‍රධාන වාස්තු විද්‍යාඥ මුරාඩ් ඉස්මයිල් මහතා විසින් මෙහිදී දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරන ලදී.  එසේම, ජාතික විද්වත් සංවිධානය (NIO) වෙනුවෙන් වරලත් ඉංජිනේරු එම්.එම්.එස් මොරේමඩ මහතා මරදාන, මීරිගම හා මොරටුව දුම්රිය ස්ථානවල ක්‍රියාත්මක වූ නියමු ව්‍යාපෘතිවල අත්දැකීම් පැහැදිලි කළ අතර, අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික මාර්ගෝපදේශන සැපයීම සඳහා තම සංවිධානයේ සහාය ස්වේච්ඡාවෙන් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

මෙයට සමගාමීව, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග විශාල ප්‍රමාණයක්(429) පවතින බවත්, ඒයින් ප්‍රධාන වශයෙන්  134ක් පළමු වටයේදී ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම මගින් අනතුරු අඩු කරගත හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (සංඥා හා විදුලි සංදේශ) වී.සී.ඊ ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

‘Dream Destination’ වැඩසටහන පිළිබඳව රැස්ව සිටි පිරිස සමග අදහස් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරුණු අතර ඔවුන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම සදහා වන මාර්ගගත ක්‍රමවේදය හදුන්වා දීමද සිදු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, මෘදුකාංග ඉංජිනේරු සුමුදු රත්නායක යන මහත්වරු සහ පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් හා ආයතන රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. 

ජනාධිපති මාධ්‍ය අංශය

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved