Apr 04, 2018

"මිනිස්සු මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍යට පුරුදු වෙලා" - DJ අරා

මෙවර ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් වසරේ නිවේදකයාට හිමි ජනතා සම්මානය දිනා ගැනීමට අරවින්ද ලොකුගේ සමත් විය. එම සම්මානය ප්‍රදානය කළ දා පටන්ම එය දිනා ගත්තේ ඔහුම වීමද සුවිශේෂීත්වයකි. මේ, දැනට සියත මාධ්‍ය ජාලයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන අරවින්ද සමග කෙරෙන කතාබහකි.

“මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ දක්‍ෂතාව වගේම වාසනාවත් ඉතා වැදගත්. ප්‍රාසංගික කලාවේ පවතින ලක්‍ෂණයක් ඒක. මොකද හැම වේදිකාවක්ම ප්‍රයෝජනයට ගන්න මට හැකියාව ලැබුණා. වාසනාවේ අනෙක් කොටස තමයි ජනතාව මේ සම්මානය බාර ගැනීම. ඒ නිසා මෙහි ගෞරවය මට තනිවම ගන්න බැහැ. අනෙක මට මේ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සේවය, ස්වාධීන රූපවාහිනී සේවය, ලක්හඬ වැනි මාධ්‍යවලදී ළමා නිවේදකයෙකු ලෙස ලබාගත් අත්දැකීමුත් බලපාන්න ඇති. ආසියානු ගුවන්විදුලි ‍ජාලයෙන් තමයි මම වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ. එහි කටයුතු අවසන් කළේ අධ්‍යක්‍ෂවරයෙකු විදියට. ඉන් පස්සේ තමයි මම "Voice of Asia" මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙන්නේ. ඒ "සියත" උපදේශකවරයෙක් විදිහට.

කොහොමද DJ අරා චරිතය ගොඩනැගෙන්නේ?

මීට පෙර පැවැති උදෑසන ආකෘතිය සාර්ථක වුණේ නැහැ. බොහෝ අයට තිබුණේ කුලියට ගත් ආකෘතියක්. ඒ නිසා ඒ පිළිබඳ අපට කළමනාකාරීත්වයෙන් උ‍පදෙස් ලැබුණා වෙනස් කරන්න කියලා. ඒ නිසා තමයි මම මේ සැලැස්ම ඉදිරිපත් ක‍රන්නේ. හැබැයි මේක වැඩසටහනක් නෙමෙයි. මට හොඳටම කරන්න පුළුවන් ‍චරිතය තමයි මම එතැනට යොදා ගත්තේ. ඒ තමයි "මම". මම මගේ ජීවිත කතාව, ජීවන අත්දැකීම් ශ්‍රාවකයාට දැනෙන සුලු ආකාරයෙන් ඉදිරිපත් කළා. අපි හිතුවේ නැති විදියට ඒක ජනප්‍රිය වුණා. සමහර විට එහි තිබුණු ආකෘතියේ සරලකම නිසා වෙන්න ඇති. හැබැයි අපි බාල දේවල් කතා කළේ නැහැ. ඉතා බරපතළ මාතෘකා පවා සෑම තරාතිරකම රසිකයන්ට දැනෙන අයුරින් කතා කළා. ඒක තමයි අපේ අරමුණ වුණෙත්. හැබැයි අවුරුදු 12ක් මේ වැඩසටහන කරලත් මෙය වඩාත් ජනප්‍රිය වුණේ අවසන් අවුරුදු හයේදී.

ඒත් ඔබට මේ සම්මානය ලැබෙන්නේ "DJ අරා" වෙනුවෙන් නෙමෙයි, අරවින්ද වෙනුවෙන්?

ඔව්. මම හිරු ආයතනයෙන් ඉවත් වෙද්දි ඔවුන් "DJ අරා" නම භාවිත කිරීම වළක්වාලමින් උසාවියෙන් නියෝගයක් අරගත්තා. ඒ අනුව තමයි "අරවින්ද, ආශ්චර්යා" යනුවෙන් වැඩසටහන ඇරඹෙන්නේ.

ඒ කියන්නේ එයින් ඔප්පුවෙන්නේ වඩා වටින්නේ වැඩසටහන නොව එහි සන්නිවේදකයා බවයි?

ඔව්. ඒකනේ මා වටා තාමත් හොඳ රසිකයන් පිරිසක් ඉන්නේ. මිනිස්සුන්ට මම අරවින්ද වුණා කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ. ඇත්තටම ඒක මට ප්‍රශ්නයක් වෙලත් නැහැ.

හැබැයි නව මාධ්‍යයේ අතික්‍රමණයත් එක්ක ගුවන්විදුලි මාධ්‍යයෙන් රසිකයාට බලපෑම් කළ හැකි සීමාවත් අද පහළට ඇවිත් නේද?

මේ වෙද්දි මාධ්‍යය කියන එක ජනතාවට වැදගත් නැහැ. අහන්න, දකින්න ඕන දේ ඔවුන් මොන විදියෙන් ‍හෝ සිදු කරනවා. දැනගන්න ඕන දේ දැන ගන්නවා. අනෙක සමාජ මාධ්‍යයේ වුණත් වැඩියෙන්ම හොයන ගුවන්විදුලි ආයතනය බවට "සියත" අද පත්වෙලා තියෙනවා.

ඔබ ගුවන්විදුලි ක්‍ෂේත්‍රයේ නියැළෙන්නේ වයස අවුරුදු හතේ ඉඳන්. මොකද හිතෙන්නේ?

ඇතැම් ක්‍ෂේත්‍රවල කඩාවැටීමක් තියෙනවා. ඇතැම් ක්‍ෂේත්‍රවල දියුණුවක් තියෙනවා. හැබැයි දක්‍ෂතා තියෙන පරම්පරාවක් නිර්මාණය කර ගනිද්දි අද අපට හමුවෙන්නේ ගීත ඉල්ලීම් ඉදිරිපත් කරන වැඩසටහන්වලට ගැළපෙන පිරිසක්. ගැඹුරු දේ සරල කර කතා කළ හැකි, ගවේෂණශීලී පරම්පරාවක අඩුවක් බරපතලව තියෙනවා. ඒක ක්‍ෂේත්‍රයේ වරදක්ද, සමාජ ප්‍රවණතාවේ වරදක්ද කියලා අපි අලුතින් හිතන්න ඕන.

ඒත් ගවේෂණශීලී බුද්ධිමත් රසිකයන් පිරිසක් නම් අද නිර්මාණය වෙලා?

ඔව්. ඒත් මිනිස්සු යම් පහසුවක් හොයනවා. පවතින ක්‍රමයේ වේගයේ හැටියට සන්නිවේදකයාම ගවේෂණශීලී වෙලා ඉතා කෙටි කාලයකින් ඉතා වැදගත් යමක් ඔවුන්ට දේවි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒකයි කෙටිම වෙලාවකින් ගුණාත්මක අතින් වැඩිම දෙයක් හොයන්න ඔවුන් උත්සාහ කරන්නේ. ඒ වගේම දැන් පවතින ක්‍රමයත් වෙනස්. ඒත් ප්‍රශ්න අලුත් වෙලා නැහැ. වෙනදා බලන රාමුව දැන් අදාළ නැහැ. ඒ නිසා උත්තර හොයන්න කලින් ප්‍රශ්න අලුත් කළ යුතු කාලයයි ඇවිත් තියෙන්නේ. එතකොටයි අලුත් උත්තර ලැබෙන්නේ.
ඉතින් එතැනදි නේද මාධ්‍යවේදියා ජනතාවගේ පෙරගමන්කරුවා විය යුත්තේ?

ඒක එහෙම නම් මාධ්‍යයට ඕන විදියටද ජනතාව සකස් වෙලා ඉන්නේ?

එහෙමම කියන්න බැහැ. මොකද අද වෙද්දි ගුවන්විදුලි නාළිකා, පුවත්පත්, රූපවාහිනී ආදී ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මොන ආයතනයේ මොන පත්තරේ හෝ මොන නාළිකාවද ජනතාවගේ පෙරගමන්කරුවා වෙලා ඉන්නේ? ඒ නිසා මාධ්‍යය කියන්නේ ජනතාවට යම් උත්තේජනයක් විතරයි. තීරණ ගන්නෙක් නෙමෙයි. මොකද ඔවුන්ට තමන්ගේම අදහසකුත් තියෙනවා. ඒ නිසා තාමත් අවසන් තීරණය ගන්නේ ජනතාව. අෙනක ඒක එහෙම නම් දවසට පැය දොළහක් බණ, පිරිත් විකාශය වෙන රටක ඇයි ඒ තරමටම ප්‍රතිඵල නැත්තේ.

එහෙනම් ගැටලුව තියෙන්නේ ඉදිරිය පිළිබඳ අනාවැකි පළ කිරීමට ඇති නොහැකියාවද?

අද වෙද්දි අනාවැකි ගැන පවා අනාවැකි කියන්න බැරි තත්ත්වයකයි අපි ජීවත් වෙන්නේ. ඒ තරම් ඉක්මනට මිනිසුන්ගේ කැමැත්ත වෙනස් වෙනවා. ඒකයි අතිසාර්ථක ව්‍යාපාරවල පවා කළ අනාවැකි වැරදුණේ. ඒ නිසා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලැසුම්වලින් තමයි මාධ්‍යයට පවා පවතින්න පුළුවන් වෙන්නේ. ඒත් පර්යේෂණ සිදුවිය යුතුයි.

ඒ කියන්නේ සංස්කෘතිකමය පරිවර්තනයක් සඳහා මාධ්‍යයට යමක් කළ නොහැකිද?

ඒක සාපේක්‍ෂයි. එහෙම වෙයි කියන්නෙත් නැහැ. නොවෙයි කියන්නත් බැහැ. මොකද අද වෙද්දි මිනිස්සු ප්‍රධාන මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍යය භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නවා. හෙට වෙද්දි ඊට තවත් ආදේශකයක් ඔවුන් තෝරා ගන්නත් පුළුවන්. ඒ නිසා එවැනි වගකීම් දැන්මම මාධ්‍ය කරපින්නාගෙන යන්න ඕන නැහැ. ඒක අනාගතයේදී තීරණය වෙයි. අෙනක එවැනි වැඩසටහනක් සියලු මාධ්‍යය එකතු වී කළත් ජනතාව බාර නොගත්තොත් මොකද කරන්නේ?

ඒත් වත්මන් මාධ්‍යවේදීන් ජනතාවගේ මතය වෙනුවට තමන්ගේ හිමිකරුවාගේ මතය නියෝජනය කිරීමත් මීට හේතු වෙලා තියෙනවලු?

ඒක අඩු වැඩි වශයෙන් සත්‍යයක්. මොකද ආයතනයක් කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා යම් මතයක් ප්‍රකාශ කරද්දි තනිවම ක්‍රියා කළොත් ආයතනික මට්ටමින් චෝදනාවට ලක්වෙන්න පුළුවන්. ඒක හැබැයි ඕනම ආයතනයකට පොදු තත්ත්වයක්. අපට ඕන විදියට බොත්තම් කාසි මහන්න බැහැ. අපට ඕන විදියට කොලර් එක මහන්න බැහැ. ඒ නිසා හැමෝම එකඟ වුණු තැනකදී තමයි කමිසය නිර්මාණය වෙන්නේ. කමිසයේ ගුණාත්මක බව ජනතාව තීරණය කරාවි. ඒ නිසා ස්වාධීනව මතයක් නියෝජනය කළ හැකි ආයතන පිටරටවල පවා තියෙනවද කියල නැවත සොයා බැලිය යුතුයි. මොකද මනුෂ්‍යයා කියන්නේ දේශපාලනික සත්ත්වයෙක්. එහෙම නම් ස්වාධීන සත්ත්වයෙක් නෙමෙයි කියන මතය ‍මිථ්‍යාවක් වෙනවා.

දීර්ඝ කාලීන සංවර්ධනය වෙනුවෙන් ඇයි පෞද්ගලික මාධ්‍යයට එකාවන්ව වැඩ කරන්න බැරි?

අපට ඒකට පුරුද්ද අවශ්‍යයි. අපේ මිනිස්සුන්ට තාම ඒ පුරුද්ද නැහැ. එක්කෙනෙක් වමට කැපුවොත් අෙනක් කෙනා දකුණට කපනවා. එහෙම සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ඒත් වාණිජමය තරගකාරීත්වය අවශ්‍යයි. ඵලදායක කර ගැනීමයි වැදගත් වෙන්නේ. කවුරුහරි ඒ සංවර්ධන කාර්යය බෙදීමට මැදිහත් පාර්ශ්වකරුවෙකු විදියට ක්‍රියා කරනවා නම් හැමෝම එකතු වෙලා වැඩ කරාවි. මම එහෙම අවස්ථාවක් දැක්කේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේදී පමණයි. ඒ නිසා එවැනි ව්‍යාපෘති කිහිපයක්වත් වසරකට අවශ්‍යයි.

ක්‍රමය වෙනස් කළ හැක්කේ ක්‍රමයේ ඉඳන්ද? පිටට ඇවිත්ද?

ඇතු‍ළේ ඉඳන්.

ඒත් විකිණෙන්නේ හොඳ දේ නෙමෙයි නම් මොකද කරන්නේ?

ඒක සාපේක්‍ෂයි. සියයට සියයක් හොඳයි හෝ නරකයි කියලා දෙයක් නැහැ. යින්ග් යැන්ග් සංකල්පය ගත්තත් එළිය තුළ අඳුරත්, අඳුර තුළ එළියත් තමයි තියෙන්නේ.

ජනමාධ්‍ය උපාධි ගත්තත් වෘත්තීයමය ක්‍ෂේත්‍රයේදී බොහෝ තරුණ තරුණියන් අසාර්ථක වෙලා?

වෘත්තීයමය පුහුණුවීමක් ලබාදෙන ජාතික වශයෙන් පිළිගත් ආයතනයක් නොමැති වීම තමයි තිබෙන අඩුව. ඒ නිසා මේ විදියට ගියොත් අපට ඉදිරියේදී ගීත ඉල්ලීම් ලබාදෙන නිවේදකයන් පිරිසක් තමයි හොයාගන්න වෙන්නෙ.

(සාරවිට)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top