Apr 24, 2018

විද්‍යාඥවරියක් වීමට හීන දකින නිළිය

ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග තොටේදී සෙනාලිව ප්‍රේක්ෂකයන්ට නිතර නිතර මුණ ගැහෙනවා කියලත් අපිට දැනගන්නට ලැබුණා. මේ විදිහට රට වටේ යන හේතුව දැනගන්නත් එක්කයි මෙවැනි කතා බහකට අපි සෙනාලිව එකතු කරගත්තේ.

මේ දවස්වල සෙනාලිව වැඩිපුරම දකින්න ලැබෙන්නේ පාරවල්වල, එහෙම නැත්නම් මල්වතු, කඳු මුදුන්වගේ ස්ථානවලයි කියලා බොහෝ දෙනා කියනවා.  ඇත්තටම සෙනාලි මේ විදියට ලංකාව වටේ රවුම් ගහන්නේ ඇයි ?

ඔව්. මේ දවස්වල මම ලංකාව වටේම රවුම් ගහනවා. මම වැඩිපුර හිටියේ එංගලන්තේ නිසා ලංකාවේ සුන්දර තැන් තවම මට හරියට දැකගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මම දැන් ටිකක් නිදහසේ ඉන්නවා. ඒ වගේම මේ දවස්වල තාත්තත් ලංකාවට ඇවිල්ලයි ඉන්නේ. ඒ නිසා මම දැන් පවු‍ලේ අයත් එක්ක රට තොටේ සුන්දරත්වය අත්විඳිමින් ඉන්නවා.

රටේ සුන්දරත්වය විඳින අතරතුරේ රසික ප්‍රතිචාරත් සෑහෙන්න ලැබෙනවා ඇති නේද?

ඔව්, ගම්වල මිනිස්සු හරිම ලෙන්ගතුයි. සමහරු ආ මේ සිරිපැරකුම් චිත්‍රපටයේ නිළියනේ කියලා මාව වට කරගන්නවා. තවත් සමහරු “දිලී, කොහොමද ඉතිං” කියලා මගේ ළඟට ඇවිත් සුහදව කතා බහ කරනවා.

‘දිලී’ කෝටිපතිනියක් වුණේ නැත්තේ ඇයි කියලත් ප්‍රේක්ෂකයෝ අහනවා ඇති නේද?

මේ දවස්වල මාව දකින දකින හැමෝම අහන්නේ ඇයි දිලීගේ චරිතය කෝටිපතියෝ ටෙලි නාට්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැත්තේ කියලා. දිලීගේ චරිතේ තිබුණේ හාරකෝටිය ටෙලි නාට්‍යයේ. හාර කෝටියේ දිලී නිසා මට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. සමහරු මට කතා කරලා කියනවා එයාලා බලාගෙන ඉන්නේ දිලී කෝටිපතියෝ ටෙලි නාට්‍යයෙන් ආයෙමත් එනකම් කියලා. ඒත් ඒ ටෙලි නාට්‍යයේ දිලී ඉන්නවද නැද්ද කියලා තවම තීරණයක් නැහැ. ඉස්සරහට දිලී ඉන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම නැතිවෙන්නත් ඉඩ තියෙනවා. දිලී නැවත එයිද නැද්ද කියලා මමවත් දන්නේ නැහැ.

එතකොට සෙනාලිට ලංකාවේ වටේ මේ තරම් යන්න කාලයක් ලැබිලා තියෙන්නේ දැන් නිර්මාණවලට දායක වෙන එක සීමා කරගෙන නිසාද?

මගේ රංගන ජීවිතයට මම ලොකු සීමා මායිම් දාගෙන නැහැ. ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවලටත් මට ආරාධනා ලැබුණා. මම හැමවිටම භාර ගන්නේ ගුණාත්මක නිර්මාණ පමණයි. ඇත්තටම ටෙලි නාට්‍යවලටත් වඩා මට ලොකු ඉඩක් තියෙන්නේ චිත්‍රපටවලටයි. මොකද මගේ කලාව පටන් ගන්නේ සිනමාවෙන්. ඉතින් එදා වගේම අදත් බොහෝ දෙනා මාව හඳුන්වන්නේ චිත්‍රපට නිළියක් විදියට. ඒත් හාරකෝටියේ දිලී නිසා මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඒත් දිග කොටස් තිබෙන ටෙලි නාට්‍ය කරන්න මට වෙලාවක් නැහැ. මොකද මං ඉන්නේ රටවල් දෙකකනේ. චිත්‍රපටවලට මූලිකත්වය දීලා හොඳ ටෙලි නිර්මාණයක් ලැබුණොත් විතරක් කරනවා. හැබැයි “පාද යාත්‍රා” චිත්‍රපටයෙන් ළඟදීම මාව දකින්න ලැබේවි.

ඔබ දැන් ජීව විද්‍යා වෛද්‍ය අංශයේ උපාධිධාරිනියක්. ඒ සුදුසුකම් එක්ක සෙනාලිගේ අනාගත බලා‍පොරොත්තුව මොකක්ද?

මට විද්‍යාඥවරියක් වෙන්න පුළුවන්. නමුත් මට හිතුණා මම කලාව වෙනුවෙන් වෙන් කළ කාලය මදි කියලා. ඒ නිසා මම වැඩිපුර කලා වැඩකටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද මට ලංකාවට යමක් කරන්න ආසයි. ඒ වගේම මගේ වැඩිදුර අධ්‍යාපන වැඩකටයුතුත් කරගෙන විද්‍යාඥවරියගේ හීනය කරා යන්න බලා‍පොරොත්තු වෙනවා.

ඉදිරියේදී අධ්‍යාපනයද කලාවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න අවස්ථාවක් ආවොත් ?

අම්මෝ, මට එහෙම අවස්ථා නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මගේ දෙමව්පියෝ කලා පවුල්වලට සම්බන්ධ වුණාට එයාලගේ කැමැත්ත තියෙන්නේ මං ඉගෙන ගන්නවටයි. ඇත්තටම “සිරි පැරකුම්” චිත්‍රපටයෙන් මට අසීමාන්තික ආදරයක් ලැබුණා. ඊට පස්සේ මට රංගනයට තාවකාලිකව සමුදෙන්න සිද්ධ වුණා. මොකද මගේ උපාධිය වෙනුවෙන් කලාව කැප කළා. ඒ වෙලාවේ කලාව වෙනුවට මම තෝර ගත්තේ ඉගෙනීමයි. ඒත් ඉගෙනීම වගේම කලාවත් මම කවදාවත් අතහරින්නේ නැහැ.

තවම සෙනාලි විවාහය ගැන හිතලා නැද්ද?

(හිනැහී) මගේ ජීවිතේ හැමදේම සිද්ධ වුණේ සාමාන්‍යයෙන් හරි වේලාවට. ඉතිං ඒ නිසා මං හිතනවා මගේ විවාහයත් හරි වේලාවට සිද්ධ වෙයි කියලා. අර කතාවට කියනවානේ. “බඹා කොටලා ඉන්න කෙනාත් එක්කම විවාහය සිද්ධ වෙයි කියලා”. (හිනැහී) මම ආදරේට ආදරේ කරන කෙනෙක්. දෙමව්පියෝ, යහළුවෝ ඒ වගේ මට දක්වන ආදරේට මං ආදරේ කරනවා. ඒත් අපේ ජීවිතේට අනිවාර්යයෙන්ම විශේෂ කෙනෙක් අවශ්‍යයි. ඒ විශේෂ කෙනත් එක්ක කවදාහරි මට විවාහ වෙන්න ලැබුණොත් ඒක මට ලොකු සතුටක්. කවදාහරි දවසක මටත් ඒ සතුට ලැබෙයි කියලා හිතෙනවා. උස වෙන්න ඕනේ, සුදු වෙන්න ඕනේ වගේ සුදුසුකම් ලිස්ට් එකක් බලලා මං කෙනෙක්ව තෝර ගන්නේ නැහැ. ඒත් මට ඔහු හිතට වදින කෙනෙක් වෙන්නම ඕනේ.

සමන්මලී නැලිගම
ඡායාරූප - රවිමල් රණතුංග
ලක්බිම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top