Jun 18, 2018

චන්දිමාල් ආදායම් බදු දෙපාර්තමේන්තුවට

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මහා පරිමාණයේ උපන්දින සාදය ගැන කතාබහ තවමත් නතර වෙලා නැහැ. එම සාදයට කෝටි ගණනක මුදලක් වැය කිරීම සහ ඊට සහභාගි වූ නළු නිළියන් ඇතුළු ආරාධිතයන්ගේ ඇඳුම් පැලඳුම් ආදිය ගැනත් බොහෝ දෙනා විවිධ මත පළකරද්දී චන්දිමාල් ජයසිංහට නොසිතූ විදියේ ප්‍රශ්නයක් දැන් මතුවෙලා. 

ආදායම් බදු දෙපාර්තමේන්තුව දැන් ඔබ පස්සේ පන්නනවා කියන කතාව ඇත්තක්ද?

කතාව ඇත්ත. ඔය කතාව මට මඩ ගහන්න නිර්මාණය කරපු බොරුවක් නමෛයි. මා ගැන බොරු කටකතා ගොඩක් පහුගිය දවස්වල පැතිරුණා. හැබැයි මේ ආරංචිය ඇත්තක්.

එහෙනම් අපිට වෙච්ච දේ කියන්නකෝ?
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15කගේ විතර කණ්ඩායමක් මුලින්ම මගේ සැලෝන් එකට ඇවිල්ලා තිබුණා. මම නැති අතරේ ඒ අය මගේ කාර්ය මණ්ඩලයට අයින් වෙන්න කියලා සැලෝන් එකේ තිබුණු බිල්පත් ආදිය පරීක්ෂා කරලා තිබුණා. මෙහෙම පිරිසක් ආපු බව මට දැනුම් දුන්නාට පස්සේ මම මගේ කාර්ය මණ්ඩලයේ අයට උපදෙස් දුන්නා ඒ අය ඉල්ලන ඕනෑම දෙයක් ලබා දීලා ඔවුන්ට උපරිම සහයෝගය ලබා දෙන්න කියලා.

සැලෝන් එක විතරද ඔවුන් පරීක්ෂා කළේ?
නැහැ, මම උපන්දිනය දවසේ ඇඳපු ඇඳුම බලන්න කියලා ඒ අය මගේ ගෙදරටත් ගිහින් තිබුණා.

ඔබෙන් කිසිවක් ප්‍රශ්න කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබුණේ නැද්ද?
මාව මුණ නොගැහුණු නිසා ඒ වෙලාවේ මගෙන් ප්‍රශ්න කරන්න ඔවුන්ට බැරි වුණා. නමුත් ඊට දවසකට පස්සේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූලස්ථානයට එන්න කියලා මට දැනුම් දීමක් කළා.

ඉතින් ඔබ එහි ගියාද?
ඔව්, මගේ බර්ත්ඩේ පාර්ටි එකට වියදම් කරපු හැටි ගැනයි එදා මගෙන් ප්‍රධාන වශයෙන් පැයක් විතර ප්‍රශ්න කළේ. නමුත් මට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න තිබුණේ හෝටලයට ගෙවපු බිල විතරයි. මොකද, මගේ ඇඳුමේ ඉඳන් අනෙක් හැම දෙයක්ම ක්‍ෂේත්‍රයේ ඉන්න මගේ හිතවතුන්ගෙන් නොමි‍ලේ තමයි මට ලැබුණේ.

ආදායම් බදු සම්බන්ධයෙන් පැන නැගුණු මේ ගැටලුව එතැනින් හමාර වුණා කියලා ඔබ හිතනවාද?
මම කරුණු පැහැදිලි කළාම, ඒ නිලධාරීනුත් පිළිගත්තා මම කියන්නේ ඇත්ත කියලා. හැබැයි මම දන්නේ නැහැ, ඉදිරි කාලයේදී මේ සිදුවීම සම්බන්ධයෙන් මොන විදිහේ ක්‍රියාමාර්ගයක් ගනීවිද කියලා. ඒ ඕනෑම කටයුත්තකට මම මගේ උපරිම සහයෝගය ලබා දෙනවා.

උපන්දින සාදයෙන් පස්සේ මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වීම ගැන දැන් ඔබට මොකද හිතෙන්නේ ?
එදා, ආපු හැමෝටම මම අයිෆෝන් දුන්නා කියලා වගේ නිර්මාණය කරපු බොරු පුවත් මගේ උපන්දින සාදය ගැන ඇතැම් වබේ අඩවි හරහා පැතිරිලා තිබුණා. මම කවදාවත් හිතුවේ නැහැ බර්ත්ඩේ පාර්ටි එකක් නිසා මට ආදායම් බදු දෙපාර්තමේන්තුවට වගේ තැනකට යන්න වේවි කියලා. එහි සේවය කරන රාජ්‍ය නිලධාරීන් ගොසිප් විශ්වාස කරලා බොළඳ මානසිකත්වයකින් යුතුව මා ගැන හොයන්න ආපු එක ගැනත් මට හරිම කනගාටුයි.

ආයෙත් නම් මේ වගේ මහා පරිමාණ සාද පවත්වන්නේ නෑ කියලද ඔබ දැන් හිතාගෙන ඉන්නේ?
අ‍පොයි නැහැ. මම කවදාවත් මඩ ප්‍රහාරවලින් සැලිලා අඩියක් ආපස්සට ගන්නා කෙනෙක් ‍නෙවෙයි. ලබන අවුරුද්දේ මගේ උපන්දින සාදය මම ආරාධිතයෝ 1000ක් එක්ක සමරනවා. සමහර විට මට ඒ වෙනුවෙන් එදාට හෝටලය පවා නොමි‍ලේ ලැබේවි.

කිෂාන් කනංකෙ
ලක්බිම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top