Pasidol

Sathosa

Aug 08, 2018

"නැවෙන් ලැබෙන පන්නරය ජීවිතයට හයියක්" - කපිතාන් ගයාන්

කපිතාන් ගයාන් ගුණවර්ධන,, ලාබාල වයසේම කපිතාන්වරු බවට පත්වූ අතලොස්ස අතරට එක්වූ තවත් සොඳුරු මිනිසෙකි. මෙරට ප්‍රමුඛතම නාවික සමාගම වන Ceyline Shipping ආයතනයේ තවත් නවක ධූරයකින් ඔහු හොබවනු ලැබූයේ නොබෝදාය. එම ආයතනයේ ප්‍රධානියා වශයෙන් ඔහුට ඇති ආර්ථීක දේශපාලන දැක්ම දැකීමට මෙන්ම පෞද්ගික ජීවිතයේද අත්දැකීම් බෙදාහදා ගැනීමට ශ්‍රී ලංකා මිරර් අප පසුගියදා Ceyline Shipping ආයතනය වෙත ගොඩවැදුනෙමු.

වයස 17 වෙද්දී අම්මාගේ ඇස්වලින් මිදිලා නැවක් හොයාගෙන ගිය ඒ අතීතය ගැන මතක් කරොත්...

ඔව්. මම සාමාන්‍ය පෙළ විභාගය ලියපු ගමන් මගේ පාසල් ජීවිතේ නිමා කළා. මම ගියේ කොළඹ ඩී. ඒස් සේනානායක විද්‍යාලයට.මගේ මාමා කෙනෙක් හිටියා, එයා නැවේ ප්‍රධාන නාවික නිලධාරියෙක්. ඒ කාලේ නැව්වලට මිනිස්සු දාන එකත් එයා කරා. ඒ මාර්ගයෙන් තමයි මම නැවට යන්නේ. මම Cinec maritime campus එකට සම්බන්ධ වුණා. පස්සේ කෙඩෙට් කෙනෙක් විදියට නැව්වල ගිහිල්ලා විභාග කරලා ඒවා සමත් වෙලා වයස 29 ක් වෙද්දී කපිතාන් කෙනෙක් වුණා. මේක ලේසි ගමනක් නෙවෙයි. අමාරුයි. ඒ්ත් අවා.

එදා ඒ ගිය ගමන ගැන අද මොකද හිතෙන්නේ.

මම ගොඩක් සතුටු වෙනවා. පොඩි වයසින් රට රටවල් ගාණකට ගියා. විවිධ සමාජ සංස්කෘතීන් එක්ක ජීවත් වෙන්න ලැබුණා. ඒ තුළින් සංවරකම කියනදේ ජීවිතේට ලැබුණා. නැව් ගමන දුෂ්කරයි. කපිතාන් කියන්නේ සම්පූර්ණ වගකීම අතේ තියෙන රස්සාවක්. දුෂ්කර කාලගුණ විපර්යාසයන්ට මුහුණ දෙන්න වෙනවා. දවස් ගණන් නිදියන්න නොලැබෙන අවස්ථා උදා වෙනවා. නමුත් මෙයින් ලැබෙන පන්නරය ඉතාම වටිනවා. සිනෙක් එකේ මගේ කණ්ඩායමේ හිටපු ගොඩක් දෙනෙක් හැලුනා. මොකද නැවට ගියාම දරා ගන්න අමාරු තැන් එනවා. අපි කිහිපදෙනෙක් විතරයි කපිතාන් දක්වා එන ගමන ආවේ. ඒ වගේම හොඳ පඩියක් අතට ගත්තා. ඒකත් වැදගත්නේ. නමුත් මම මේ ආයතනයෙන් කළ ඉල්ලීමක් නිසා මීට වසර හය හමාරකට කලින් නැව් ගමන නවත්තලා ගොඩට වුණා.

අද ඔබ සීලයින් ආයතනයේ ප්‍රධානියා. නැවක වගකීම ගන්නවට වඩා වෙනස් ව්‍යාපාරයක වගකීම ගන්න එක.

38676545 232544527465651 5301349374075338752 nඔව් . ඒ වෙනස කෙහොමත් මුලින් දැනුණා. නමුත් අරමුණ සහ වගකීම හරිහැටි හඳුනාගත්තම අනෙක් දේවල් ලේසි වෙනවා. මම නැව්වල යන අතරේ සීලයින් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් මට කතා කළා. මම ටික කාලෙකට කියලා හිතලා නැවතුණත් ලොකු වගකීමක් කරට අරගෙන නැවතිලා දැන් අවුරුදු හයකට වැඩි වෙනවා. මේ කාලයෙදී සීලයින් ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් අජිත් පීරිස් මහතාගේ මඟ පෙන්වීම ඉතාම වටිනවා. ප්‍රධාන වශයෙන්ම අපි කරන්නේ පුහුණු සුදුසුකම් ලත් නාවිකයන් ලෝකය පුරා පිහිටි නැව් සමාගම්වලට සපයන එක. ඒ හරහා තමයි මේ ව්‍යාපාරය ගමන් කරන්නේ සහ රඳා පවතින්නේ.

ආයතන ප්‍රධානියා විදියට මෙම ආයතනය හැසිරවීම සහ අදාළ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පවතින තරඟකාරීත්වය ගැන කතා කළොත්

ඇත්තටම තරඟයක් නෑ. අභියෝග තියෙනවා. අභියෝගයක් නැත්නම් ගමනකුත් නෑ. පසුගිය කාලේ යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවුණා. ඒක සතුටින් මුහුණ දුන්න කට්ටක් කිව්වොත් හරි.රාජකාරියේදී අවංක බව සහ කැපවීම ඉතාම වැදගත් . ඒ වගේම අපිට සේවය කරන පිරිස අපි රැකගන්න ඕන. එතනදි නිකන්ම අපි රැකෙනවා. මගේ සීලයින් ඉතිහාසයේම ඉන්න ඕන හොඳම කාර්ය මණ්ඩලයක් දැන් ඉන්නවා. තරුණ පිරිසක්. ඉතාම දක්ෂයි. ඒ ගැන මට සැකයක් සහ වදයක් නෑ.

වෙළෙඳ නාවිකයන් නිර්මාණය තුළින් මේ රටේ ආර්ථිකය, මැදපෙරදිගට කාන්තාවන් යවනවට වඩා වැඩි අගයකින් ශක්තිමත් කළ හැකි බව කියනවා. මෙකී කර්තව්‍ය කරට ගෙන සිටින ප්‍රධානතම ආයනය විදියට ඒ වගකීම දරන්නේ කෙහොමද?

ඇත්තටම රට රස්සාවට කාන්තාවන් නොයවා ඉන්න පුළුවන් දිනයක් අපිට හදන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය. අපි අවුරුද්දෙන් අවුරුද්ද මේ යවන ප්‍රමාණය වැඩි කරන්න බලන්නේ. මේකෙදී අපි මුහුණ දෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ලංකාව මුහුදින් වට වුණ දූපතක් වුණාට නාවිකයො හිටියෙ නෑ 1971 Ceylon shipping corporation එක පටන් ගන්න තුරු. වෙළෙඳ නාවික නැව්වල අතලොස්සක් ගියේ. අපිට නැව්වලට දාන්න කට්ටිය හිටියෙ නෑ ඒ කාලේ . බ්‍රිතාන්‍ය ඉන්දියාව වගේ රටවල්වලින් නාවිකයන් ගෙන්නලා තමයි අපි නැව්වලට දැම්මේ.ඊට පස්සේ ටික ටික අපේ නාවිකයන් බිහිවීම සහ විදෙස් නැව්වලට යාමේ සංස්කෘතියක් ආරම්භ වුණා.

Ceylon shipping corporation එකේ සේවය කළ හේමන්ත ජයනෙත්ති මහතා තමයි සීලයින් ආයතනය පටන් ගත්තෙ. මොකද එතුමාට දැක්මක් තිබුණා නාවිකයන් බිහිකිරීම හරහා යමක් කළ හැකි බවට. මේකෙදී අපි බ්‍රිතාන්‍ය , ජර්මනිය වැනි රටවල්වලට නැවියො සැපයුවා. මෙතනදි අපි මුහුණ දුන්න ප්‍රධාන ගැටලුවක් වුණේ කොහොමද අපි ජාත්‍යන්තර වෙළෙඳපොළට හරියන විදියට නාවිකයො නිර්මාණය කරන්නේ කියන එක . අපිට හොඳ පුහුණුවක් අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන වුණා. එහිදී නාවික පුහුණු ආයතනයක් විදියට International Maritime Studies (IMS) ආයතනය 1990 වර්ෂයේදී ආරම්භ කරා. ඒක තමයි අද වන විට දකුණු ආසියාවේ පිහිටි විශිෂ්ටතම නාවික පුහුණු ආයතනයක් වන CINEC (Colombo International Nautical and Engineering College) ආයතනය බවට පත්වුණේ.

මේ හරහා බිහිවෙන දහස්ගණන් වූ නාවිකයන්ට මේ වන විට ප්‍රමාණවත් රැකියා වෙළෙඳපොළක් නිර්මාණය වී තිබෙනවද?

ඇත්තටම මැදපෙරදිග රැකියාවලට කාන්තාවන් යවනවා වගේ අපිට නාවිකයො යවන්න බෑ. නමුත් අපි ඒ තැනට එන්න උත්සහ කරනවා. මේ රස්සාව ලබන්න වාසනාව කියන එකත් බලපානවා. අවුරුද්දකට නැවියෝ විශාල ප්‍රමාණයක් ශිෂ්‍ය පිරිසක් CINEC එකෙන් එළියට එනවා. මේ අය අතරින් දක්ෂතම පිරිසකට තමයි රස්සාවලට දොර ඇරෙන්නේ. පිලිපීනයෙන් තමයි වැඩිම වෙළෙඳ නාවිකයන් පිරිසක් බිහිවෙන්නේ. ඒ මාකට් එක කඩන්න ටිකක් අමාරුයි.නමුත් කියන්න ඕන අපේ නාවිකයෝ ඒ අයට වඩා බුද්ධිය සහ වැඩ අතින් ඉහළින් ඉන්නේ කියලා. ඒ වගේම අපි මේ වන විට ලොව පුරා පිහිටි සමාගම් 21 ක් සමඟ ගනුදෙනු කරනවා. තවදුරටත් මේ කර්තව්‍ය පුළුල් කිරීමේ ක්‍රමවේදයකුත් මේ දිනවල සකසමින් සිටිනවා.

මේ වන විට රටේ ආර්ථිකය සුබවාදී තැනක නෑ. විශේෂයෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම මුළු රටටම බලපාලා තියෙන්නේ. ඔබට තියෙන බලපෑම ගැන කතා කළොත්.38672464 1810328249084689 6239916422512771072 n

ඩොලර් අගය ඉහළ යාම සහ බදු ගැසීම තමයි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නෙ. මේ තියෙන තත්ත්වෙ තුළ රට අගාධයට යනවා මිසක් ගොඩඒමක් පේන මානෙක නෑ. මම මීට අවුරුදු හය හමාරකට කලින් නැවෙන් බහිද්දී ඩොලරය තිබුණේ 105 ක් වගේ අගයක. දැන් 160 යි. මේකෙන් පේනවා කොච්චර බඩුමිල ඉහළ ගිහින්ද කියලා. අපි ඩොලර්වලින්මයි ගණුදෙනු කරන්නේ . ඒ නිසා අපිට හොඳයි වගේ පිටින් පේනවා ඇති. නමුත් රුපියල බාල්දුවීම හරහා අපේ වියදම් වැඩි වෙලා.ඒ වගේම අපි අවුරුදු ගාණක් නැව්වල ගිහින් හම්බ කරපු දෙයිනුත් අද හම්බකරන එකෙනුත් වැඩිපුර කරන්නේ බදු ගෙවන එක. අපි ආණ්ඩු රකිනවා. දේශපාලකයො රකිනවා. අපිව රකින්නේ කවුද? නැවට යන කෙනෙක් හම්බ කරන්නේ ඩොලර්වලින්. ඒ අය රටින් පිටවෙලා දින 183 ට අඩුවෙන් හිටියොත් ලොකු බද්දක් ගහන්න යනවා. රට යන්න බෑ. බැංකුවේ සල්ලි දාන්න බෑ. වාහනයක් පාවිච්චි කරන්න බෑ. පිනක් දහමක් කරන්න බෑ. බදු ගහනවා. ඇත්තටම මගේ නම් අදහස මේ ඉන්න පාලක පිරිස මුළුමනින්ම ඉවත් කළ යුතුයි. අපිට වඩා දූෂිත රටවල් ගොඩ ඇවිත් තියෙනවා. ගොඩ එන ක්‍රමයක් හොයා ගන්න අවශ්‍යයි.

ඔබ හිතන විදියට ගොඩ එන්න පුළුවන් කෙහොමද?

අපි භීෂණය නැතිකරා .දැන් දූෂණය නැති කරන්න අවශ්‍යයි. මේකට රටට ආදරය කරන නායකයෙක් ඕන කරනවා. ඒ නිසා දැඩි තීන්දු තීරණ ගන්න නායකයෙක් අවශ්‍යයි. ස්වයං සංවරයක් තියෙන ජන කොටසකුත් ඕන. පිලිපීනය සිංගප්පූරුව ගොඩගියේ කොහොමද? පිලිපීන ජනාධිපති මොකද කරේ? කුඩු ජාවාරමට සම්බන්ධ සියල්ල වෙඩි තියලා ඝාතනය කරා. මේ වෙනකොට 15,000 ක් විතර මරලා තියෙනවා. ජීවිතාන්තය දක්වා සිර කළා කියලා ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. අද අපේ සිරමැදිරිවල තමයි ජාවාරම හොඳට කෙරෙන්නේ. වැරැද්දට මිනිස්සු බය කරන්න ඕන. ඊළඟට දේශපාලන ගසාකෑම නතර කරන්න ඕන.අපි වගේ ඉඳලා දියුණු වුණ රටවල පාලකයෝ මොනතරම් දේවල් අත්හැරලා තියෙනවද? ඒ වගේම මේ රට පුදනකල් බලන් ඉන්න රටක්. අධ්‍යාපනය නොමිලේ ලැබෙනවා.

මමත් නිදහස් අධ්‍යාපනය ලැබූ කෙනෙක්. නමුත් මම යෝජනා කරනවා පාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දීලා උසස් අධ්‍යාපනයට රජය වැය කරන මුදල නැවත ගෙවීමේ පදනමක් මත ලබාදෙන එක වැදගත් කියලා. එතකොටයි ඒ අයට ඒකෙ වටිනාකමක් දැනෙන්නේ. අධ්‍යාපනය නොමිලේ ලබාදුන්නම රස්සාවත් දෙන්න ඕන. නැත්නම් කට්ටියම පාරේ. එහෙම වගකීමක් රජයකට නෑ. වැඩවර්ජන, උද්ඝෝෂණ තමයි රටක් බිමදාන අනෙක් කරුණ. අවශ්‍ය දේට කතා කරන්න ඕන. ඇත්තටම ජනතාවත් පාලකයොත් දෙගොල්ලම මේ තත්ත්වය පාලනය කරගන්න බුද්ධිමත් වෙන්න ඕන.

2020 ජනාධිපතිවරණයේදී ඔබ යෝජනා කරන්නේ මොනවගේ නායකත්වයක්ද?

ජනපති නාමයෝජනා ලැයිස්තුව මේ වන විට සැකසෙමින් පවතිනවා විශේෂයෙන්ම සමාජ ජාල හරහා. මේ අයගේ සමාජ පසුබිම සොයා බැලීම වැදගත්. ඒ අය විවිධ ක්ෂේත්‍රවල නිපුණයන් වෙන්න පුළුවන් . දැන් ජනාධිපතිවරණයට සූදානම් වන ව්‍යාපාරිකයෙක් කියනවා මේ රටේ ණය බර එක රැයකින් ඉවර කරනවා,තමාව ජනාධිපති කරොත් කියලා. මම එයාට කියන්නේ මේ රට ණයෙන් නිදහස් කරන්න , අනිවාර්යෙන් මම ඡන්දෙ දෙනවා කියලා. මොකද දැන් දෙන්නම් කාසිවලට වැඩ කරලා ඉවරයි. මම දන්න විදියට මේ රට ගොඩගන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ. ඒ පුද්ගලයාට විතරයි මේ රට ගොඩගන්න පුළුවන් පෞරුෂය තියෙන්නේ.

ලීක්වාන් යූ කෙහොමද ඒ රට ගොඩ දැම්මේ. මිනිස්සු තුළ සංවරයක් ඇති කරලා. මැලේසියාවේ ආචාර්ය මහතීර් මොහොමඩ් අවුරුදු 90 වෙදී ආයෙත් ජනාධිපති වුණා. මේකෙන් පෙනෙන්නේ රටට ආදරය කරන නායකයො බුද්ධිමත් ජනතාව අයින් කරන්නේ නෑ කියන එක. මේ ජනාධිපතිවරණයට ඉල්ලන්න සූදානම් වන අනෙක් මහත්වරුන්ට පුළුවන්හරි නායකත්වයකට උදව් කරන්න. දේශපාලනයට ගෑවිලා නැති පිටරටවල ඉන්න සබුද්ධික ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නවා. ඒ අය කැමතියි මේ රට ගලවගන්න උදව් වෙන්න. ඒත් එයාලට බෑ මේ දේශපාලන වාතාවරණයට හැඩගැහෙන්න.ඒ අයටත් අවස්ථාවක් දෙන්න ඕන. එතකොට මේ රට ගොඩ එයි. ඒත් මේ වර්තමාන බොරුකාරයෝ ටික නම් ඉවත් කළ යුතුමයි. හැමදේම තීරණය වෙන්නේ ජනතාවගේ බුද්ධිය මත තමයි.

චීන ශ්‍රී ලංකා සම්බන්ධතා තරවෙලා තියෙනවා. අද කොල්ලුපිටිය බම්බලපිටිය ගත්තොත් චීන ටවුමක් වගේ. යම් යම් හේතු මත මෙරටට ඇදෙන චීන්නුන්ගෙ ප්‍රමාණය වැඩිවීම සහ චීනකරණය ගැන ඔබේ අදහස කුමක්ද ?

38693292 1870707269905858 7227417519412215808 nචීන ශ්‍රී ලංකා සම්බන්ධතාවය කියන්නේ අවුරුදු ගාණක් පරණ සම්බන්ධතාවයක්. ඒක තරවුණ එක් අවස්ථාවක් තිබුණා. මහින්ද රාජපක්ෂ යුද්දෙ අවසන් කරන්න යද්දී බටහිර රටවල් සෑහෙන ප්‍රමාණයක් මේක නවත්වන්න ආවා. ඒකට හේතුව ඩයස්පෝරාව ඒ රටවල් පුරාම තියෙනවනේ. ඒ අයගේ ඡන්දෙ ලබාගන්න බටහිර රටවල් අපේ යුද්දෙ බිල්ලට දෙන්න ලෑස්ති වුණා.අනික ඩයස්පෝරාව සල්ලි දීලා අහුවෙලා තිබුණා. එතකොට අපේ උදව්වට හිටියෙ පකිස්ථානය ,රුසියාව සහ චීනය විතරයි. චීනය ආයුධ දුන්නා ගහලා ඉවර කරන්න, පස්සේ ගෙවන්න කියලා. මේවා බිස්නස් තමයි.

යුද්දෙන් මඩ කාපු රට සංවර්ධනය කිරීමේදී ටෙන්ඩර් ටික ඔක්කොම ගියේ චීනෙට. එයාලා තමයි දැන් වැඩකාරයෝ. වියදම අඩුයි. වැඩ හොඳයි. කම්කරුවෝ පවා චීනෙන් ගෙන්නලා. ඇත්තටම චීනකරණයක් තමයි වෙන්නේ. නමුත් බනින්න විදියකුත් නෑ. මේ ආණ්ඩුව හම්බන්තොට වරාය චීන්නුන්ටම දුන්නා. හාල් මුට්ට ගිහින් දාලා මේක වැඩක් නෑ කියලා පෙන්නුවා. හරි කෙනෙක් හිටිය නම් බලන්නේ මේක දියුණු කරලා ගන්නේ කොහොමද කියන එක. ඒ වෙනුවට ඔක්කොම විකුණලා කොමිස් ගහනවා.

මේ විකිණෙන්නේ සහ විනාශ වෙන්නේ අපේ රට. මේක නතර වෙන්න ඕන. මේ රටේ ජාත්‍යන්තර පාසල්වල චීන ළමයි ඉහළින් ඉන්නවා. වැරැද්දක් නෑ. නමුත් පාලනයක් තියෙන්න ඕන . චීන්නු එයාලට ඕන දේ ලස්සනට කරගන්නවා. චීනයට අපි විතරක් නෙවෙයි, ලෝකයම අල්ලා ගැනීමේ දිගුකාලීන සැලැස්මක් තියෙනවා. ඒකෙදි ගොඩක් දුර එයාලා ඇවිත් තියෙනවා. හම්බන්තොට වරාය ගත්තෙ ඒ සැලැස්මේ එක් පියවරක් විදියට . මෙයාලා මුහුදු නැව් මාර්ග පවා වෙනස් කරනවා. එදාට තේරෙයි හම්බන්තොට වරාය තිබුණ නම් කොච්චර වටිනවද කියන එක.

කෙටි කාලෙකින් ලොකු ගමනක් ආවා. මී ළඟට ඔබේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරෙත්තුව මොකද්ද?

මට දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලා මේ රටේ හොඳ පුරවැසියන් වෙනවා දකින එක මගේ ලොකුම බලාපොරෙත්තුව. ඒ වගේම සීලයින් ආයතනයේ දියුණුව, ව්‍යාපාරයක් විදියට අපේ අරමුණු කරා යන ගමනේ කෙලවර දක්න එක මගේ තවත් බලාපොරෙත්තුවක්.

සාකච්ඡා කළේ - ශිරන්තනි මානවඩු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top