photographic 2
Aug 16, 2018

පවිත්‍ර ප්‍රේමය අපවිත්‍ර ප්‍රේමය කියා දෙයක් නැහැ .... ඇත්තේ ප්‍රේමය පමණයි

පවිත්‍ර ප්‍රේමය යනුවෙන් දෙයක්වත්, අපවිත්‍ර ප්‍රේමය යනුවෙන් දෙයක්වත් ඇතැයි මා සිතන්නේ නැහැ. ඇත්තේ ප්‍රේමය පමණයි. සමහර විට සමනල සංධ්වනියෙන් මා කීවේ ප්‍රේමයේ කොන්දේසි විරහිතභාවය පිළිබඳවයි. ගරිල්ලා මාර්කටිං තුළින් මා කිවේ ප්‍රේමයේ පවත්නා ඖෂධීය ගුණය ගැනයි. ‘ඝරසරප’ තුළින් මා කියනවා ඇත්තේ ප්‍රේමයේ මානසික බලයක් (Psychic Force) ගැනයි.

JayanthaChandrasiriයකෙකු වුවත් ඔහු තුළින් ප්‍රකාශයට පත් වන්නේ මිනිස් ආශාවන්. ආශාව, ප්‍රමෝදය, කෝපය, ඊර්ෂ්‍යාව, ලජ්ජාව වගේ මනෝභාවයන් ගෙන් ඔහු පෙළෙනවා.

ජයන්ත චන්ද්‍රසිරි ගේ නිර්මාණාත්මක යමක් ප්‍රේක්ෂකාගාරයට එන තෙක් බලා සිටින වෙනම ප්‍රේක්ෂක පිරිසක් මේ ලංකාවේ සිටිති. ඒ වගේම ඒ නිර්මාණවල වාහකයන් ලෙස ක්‍රියාකරන්නේත් මේ ප්‍රේක්ෂක පිරිසමයි. සරසවිය සිනමා උළෙල අසිරිමත් ලෙස නිමවීමත් සමඟ ප්‍රේක්ෂකයාට නැවතත් සිනමාවේ ගැවසෙන්නට යමක් ආවේ ජයන්ත චන්ද්‍රසිරි නමිනි. එය නමින් ‘ඝරසරප’ ය. දැන් සිනමාහල් රැසක අතිමහත් ප්‍රතිචාර සහිතව තිරගත වේ.

‘ඝරසරප’ යන වචනය ඔබට හුරු නැතුවා නිසැකය. එය යම් මහප්‍රාණ බරකින් යුතුව යෙදුණක් වුවක් කිසිසේත් ආගන්තුක යමක් විස්තර නොකෙරේ. ජයන්තට අනුව 'ඝර' යනු ගෘහය යන අර්ථයයි. 'සරප' යනු සර්පයා යන අර්ථයයි. බැලුබැල්මට ගෘහය තුල සිටින හෝ එතුළට එන සර්පයා යන්නෙන් අදහසක් ඇති වුවද ඊට ජයන්ත යොදන්නේ තනිකර මානසික ක්‍රියාවලියකි. එම ක්‍රියාවලියට ඔහු යොදන්නෙත් අපේ ජන විඥානයේ තැන්පත් වූ අඳුරුම තැනක් වූ කළුකුමාරයාගෙනි. කළුකුමාරයාගේ තරම බැලීමට නම් ඔබ සිනමාහලකට යා යුතු වේ. ඊට හරියන ලුණු ඇඹුල් ජයන්ත සකසා ගන්නේ ජයන්ත කවදත් විශ්මකර්ම දෙයක් ලෙස සලකන ප්‍රේමය භාවිත කොටගෙනය.

ඔබ මංගල කේක් කැබැල්ලක් ජිවිත කාලයේ කෙදිනක හෝ අනුභව කොට ඇති. ඔබ සතුව තබාගෙන කෑවේ හොඳ මංගල කේක් කැබැල්ලක් නම් කලක් යද්දී එහි තෙල් පිපේ. දවටනයේ තෙල් වැක්කෙරෙද්දී එහි සියලු රස මන්ඩි වැඩි වැඩියෙන් මතුවේ. ඒ කේක් කැබැල්ලේ නියම වටිනාකම යනු එයයි. ජයන්ත චන්ද්‍රසිරිත් ඔහුගේ ප්‍රේමනීය කතා ගොන්නත් දැන් ඇත්තේ තෙල් බේරෙන රස මන්ඩි වැක්කෙරෙන මංගල කේක් කැබැල්ලක් ගානටය. එසේනම් වැඩි කටවල් ගණනකින් ස්වල්ප කේක් කැබැල්ල රස විඳීමේ අවස්ථාව ඔබේය. එහෙත් අපි ඊට පෙර ජයන්ත සම්මුඛ කොට ගතිමු. සුපුරුදු කලාවට අමතරව දැන් ගුරු භූමිකාවටත් කාලය යොදවන හෙයින් ඔහු දැන් කාර්ය බහුලය. කෙසේ හෝ ඔහුගේ අදහස අප සමඟ බෙදා ගන්නට ඔහුට වේලාව තිබුණි. මේ ඝරසරප ගැන ඔහුගේ දැක්මයි.

ඔබ 'ඝරසරප' වෙනුවෙන් උපයා ගත් කථා වස්තුව ඉතා ප්‍රබලයි. ඔබ කොහෙන්ද මේ බීජය ලබා ගත්තේ?

වෙන කොහෙන්වත් නොවෙයි මා තුළින්මයි. මගේ මනස විවෘත කොට බැලුවොත් ඔබට පෙනෙයි එය වස්තු බීජ ආකරයක් බව. හැබැයි ඒ අතින් බැලුවත් 'ඝරසරප' තුළ තව වෙනසක් තිබෙනවා. මා සාමාන්‍යයෙන් කරන්නේ මා තෝරා ගන්නා මගේ වස්තු බීජ මතට මුදා හරන පරිකල්පන පර්යාලෝකයෙන් චරිත හා සිදුවීම් මැවෙන්නට ඉඩ හැරිමයි. හැබැයි 'ඝරසරප' වස්තු බීජය මගේම ගැටවර අවධියේ මා අත්විඳි එක්තරා සිදුවීම් මාලාවක නිර්මාණාත්මක පෙළගැස්මක්. ඒ නිසා එහි ඉබේ මැවෙන්නට, වැවෙන්නට ඉඩ හැරුණු කාරණාවලට වඩා නිශ්චිත සත්‍ය කාරණා බහුලයි.

මෙය කෙලෙස් ගැන මොඩර්න් කතාබහක්ද?

අපූරු ප්‍රශ්නයක් ඔබ නඟන්නේ. ඒ අනුව සිතා බලද්දී ඔබේ කතාවත් හරි කියලා මට හිතෙනනවා. කළු කුමාරයා සත්‍යයක් වුවත්, අසත්‍යයක් වුවත් ඔහු ඉතාම දරුණු ලෙස ක්ලේශයන් පිරුණු, ආත්මාර්ථකාමී සහ උද්දච්ඡ පුරුෂ රත්නයක් බව පැහැදිලිය. ඉන් පෙනී යන්නේ එය ඕනෑම කාලයක පුරුෂ මනුෂ්‍යයාගේ පිළිබිඹුවක් බවයි.

ඔබ කියන්නේ කළු කුමාරයා කියන්නේ වෙන කවරකුවත් නොව පිරිමියාම බව ද?

නැතුව, යකෙකු වුවත් ඔහු තුළින් ප්‍රකාශයට පත් වන්නේ මිනිස් ආශාවන්. ආශාව, ප්‍රමෝදය, කෝපය, ඊර්ෂ්‍යාව, ලජ්ජාව වගේ මනෝභාවයන් ගෙන් ඔහු පෙළෙනවා. ඒ වගේම ඔහු තුළ පවත්නා සෘජුකම, අවංකකමට ගරු කිරීම, පරිත්‍යාගය වගේ මනෝභාවයන්ගෙනුත් පිළිබිඹු වන්නේ ඔහු පුරුෂ මනුෂ්‍ය ආත්මයේම එක්තරා කැඩපතක් බවයි. ඔබ කියනවා වගේ ඔහු ක්ලේශ දොරටුවක් තමයි. මට පෙනෙන්නේ ඔහු එක්තරා වේදනා රූපයක් (Pain Body) වගෙයි.

ක්ලේශ දොරටු ගැන විග්‍රහ කරමින් සෞන්දර්යයක් ගෙන ඒම වෙනමම වැඩක් නේද?

ඇත්ත වශයෙන්ම එය වෙනම ම වැඩක්. කලාකරුවකුට සෞන්දර්යය නිර්මාණය කිරීම සඳහා හැම භාව වේගයක්ම අවශ්‍ය වුණත් ඔහුගේ අවසාන සෞන්දර්ය ප්‍රකාශනය තුළ ක්ලේශයක් නැහැ. කලා ආශ්වාදයත් එහෙමනේ. ඉහළම කලා ආස්වාදය නික්ලේශී එකක්. ඒකනේ පැරණි හින්දු දර්ශනයේ කලා ආශ්වාදය බ්‍රහ්මාශ්වාදයේ සහෝදරයා කියා හඳුන්වන්නේ. බුදුන් වහන්සේ පවා නික්ලේශී සෞන්දර්ය ආස්වාදය අගය කළ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

කළු කුමාරයා ප්‍රේමයට සම්බන්ධ කර ගැනීම ලංකාවට එතරම් හුරු පුරුදු දෙයක් නෙවෙයි නේද?garasarapa1

අනුරාගය සහ ප්‍රේමය අතර තිබෙන සම්බන්ධය වගේම අසම්බන්ධයත් තේරුම් ගන්න පුළුවන් නම් කළු කුමාර ප්‍රපංචය තේරුම් ගැනීම එතරම් අපහසු නැහැ කියලයි මම හිතන්නේ. කෙසේ වෙතත් කළු කුමාරයා දැඩි අනුරාගයේ පාරභෞතික නියෝජිතයා වශයෙන් සැලකීම තමා ශ්‍රී ලාංකික ජන විශ්වාසය. බටහිර රටවල සිටින මෙවැන්නා හඳුන්වන්නේ ඉන්කියුබස් (Incubus) වශයෙනුයි. මොවුන් සම්බන්ධ චරිතයක්, විශේෂයෙන් කළු කුමාර චරිතය සම්බන්ධ ප්‍රේම කතාවක් ශ්‍රී ලංකාව තුළ මීට පෙර නිර්මාණය වූ වගක් මමත් දන්නේ නැහැ.

ඔබ 'සමනල සංධ්වනිය', 'ගරිල්ලා මාර්කටිං' හරහා අල්ලපු පළමු පවිත්‍ර ප්‍රේමයේ චමත්කාරය යළි ඇල්ලුවේ ඇයි?

පවිත්‍ර ප්‍රේමය යනුවෙන් දෙයක්වත්, අපවිත්‍ර ප්‍රේමය යනුවෙන් දෙයක්වත් ඇතැයි මා සිතන්නේ නැහැ. ඇත්තේ ප්‍රේමය පමණයි. සමහර විට සමනල සංධ්වනියෙන් මා කීවේ ප්‍රේමයේ කොන්දේසි විරහිතභාවය පිළිබඳවයි. ගරිල්ලා මාර්කටිං තුළින් මා කීවේ ප්‍රේමයේ පවත්නා ඖෂධීය ගුණය ගැනයි. 'ඝරසරප' තුළින් මා කියනවා ඇත්තේ ප්‍රේමයේ මානසික බලයක් (Psychic Force) ගැනයි. ප්‍රේමය විප්ලවයක් සේ ගන්නැයි මා කී බව ඔබ කාට හරි කියනවා නම් මම කැමතියි.

'ඝරසරප' ජයන්ත චන්ද්‍රසිරිගේ නොස්ටැල්ජියාවක්ද?

ඔව්. හැබැයි ඒ නොස්ටැල්ජියාව අතීත මතක අතර දිය වී යන්නට තිබෙන ආශාවක් නොවෙයි. ඒ අතීත මතකයන් යොදා ගනිමින් වර්තමානයට සහ අනාගතයට අදාළ නිරෝගී භාව යථාර්ථයක් ප්‍රකාශයට පත් කිරීමේ උවමනාවයි.

ඔබ සංගීතා වෙනුවෙන් කවින්ද්‍යා තේරුවාද, නැතිනම් කවින්ද්‍යා වෙනුවෙන් සංගීතා තේරුවාද?

සංගීතා වෙනුවෙන් කවින්ද්‍යා තේරුවා.

ඔබ තරම් සංගීතා සහ කමල්්ගේ කෙමෙස්ට්‍රියෙන් වැඩ ගත් වෙනත් අධ්‍යක්ෂවරයෙක් ලංකාවේ නැහැයි කිව්වොත්?

ඔබේ ප්‍රශ්නයම මට කළ ගෞරව සඳහනක් වගේ. මෑත යුගයේ පමණක් නොවෙයි, සමස්ත සිංහල සිනමා ඉතිහාසය ගත්තත් මේ දෙදෙනා සිංහල සිනමා රූපණ කලාවේ ඉතාම සුවිශේෂී රූපණවේදීන් දෙදෙනෙක්. මගේ මිත්‍රයා ගැන මා හොඳින්ම දන්නවා. අප රූපණ කලාව අත්පොත් තබන්නේ එකම පන්තියක, එකම ගුරුවරයකුගෙන්. කමල් රුපණ ශිල්පියෙකුගේ ජීව යාන්ත්‍රික ක්‍රියාදාමය (Human Mechanism of Actor) පිළිබඳ නිශ්චිත පුහුණුවක් ලැබූවෙක්. චරිත නිරූපණයේදී ඔහු දක්වන දුර්ලභ ප්‍රතිභාවට අදාළ ශික්ෂණය එන්නේ එතැනින්. මා ඔහු පිළිබඳව පුදුමයට පත් වන්නේ නැහැ. මා පුදුමයට පත් වන්නේ සංගීතා ගැනයි. මා දන්නා තරමින් ඇය රූපණයට අදාළ කිසිදු ගුරු කුලයකින් පැමිණි කෙනෙක් නෙවෙයි. නමුත් රූපණය පිළිබඳ ඇයගේ භාවිතාව රූපණය පිළිබඳ කමල්ගේ භාවිතාවට අතිශයින් සමානයි. ඒ සුවිශේෂී දැනීම ඇය ලැබුවේ කොහෙන්ද යන්න මා දන්නේ නැහැ. අයිරාංගනී සේරසිංහ මැතිණිය හැරුණු කොට ඒ වර්ගයෙන් වෙනත් නිළියක් ගැන මට ශ්‍රී ලංකාවෙන් හිතා ගන්නට බැහැ. ඔබ අහන ප්‍රශ්නය ඒ ගැඹුරින්ම අරගන්නකොට මා කිව යුතුම දේ තමයි ඔවුන් දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් එක්ව රඟන 'ඝරසරප' අවසාන දර්ශන පෙළ අන්‍යෝන්‍ය චිත්තවේගී සහජීවනය (Codependence) යනුවෙන් අප රූපණ වේදයෙහි හඳුන්වන තත්ත්වයේ ඉතාම ඉහළ අවස්ථාවක් බව.

ප්‍රාථමික චිත්තවේගයන්ගෙන් (Primary Emotions) පටන් ගෙන තියුණු භාවාත්මක (Hightend Emotions) තත්ත්වයක් දක්වා ගමන් කරන මෙම දර්ශන පෙළ ඔවුන් යොදා මා කළ එක්තරා අත්හදා බැලීමක් කියලත් මට කියන්න පුළුවන්.

ආචාර්ය කේමදාසයන්ගේ වියෝවෙන් පසුව චිත්‍රපටයක ශබ්දපථයක් ඔබේ හිතේ හැටියට සකස් කරගත නොහැකිව ඔබ මංමුළාවක සිටියා යැයි කිවහොත් වැරැද්දක් නොවෙයි නේද? මන්ද ඔබගේ නිර්මාණවලින් කේමදාසයන් ගලවා කතා කිරීම කළ නොහැකි නිසා?

මගේ නිර්මාණවලින් කේමදාසයන් ගලවා කතා කිරීම කළ නොහැක්කක් බව ඇත්ත. එහෙත් ඔහුගේ වියෝවෙන් පසුව මා මංමුළා වී සිටියාය යන්න අසත්‍යයක්. 'සමනල සංධ්වනියේ' දී මට හමු වූ දර්ශන රුවන් දිසානායකත් 'මහරජ ගැමුණු' තුළ දී හමු වූ නදීක ගුරුගේත්, දැන් 'ඝරසරප' හිදී හමු වූ චින්තක ජයකොඩිත් තම සංගීත කාර්යයන් මගේ නිර්මාණ සඳහා ඉතා විශිෂ්ට ආකාරයෙන් සිදු කළා.

මෑත කාලයේ ඔබ මිනිසුන් අතරට එන්නේ 'හංකිති දහතුන' හා 'ඝරසරප' එක්ක. මීළඟට එන්නේ මොන විදිහකටද?

එයත් සිනමාපටයක්. තවම එයට නමක් යොදා නැහැ.

ෂෙනාල් එරාන් ජයසේකර
(සරසවිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top