Sep 26, 2018

"පොඩ්ඩක් කොටට ඇන්දම ඒ අය නිළියෝද?" වොල්ගා

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම දකින වොල්ගා කල්පනී වර්තමාන තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියක්. රංගන ශිල්පියෙකු වූ හර්ෂණ බෙත්මගේ සමගින් විවාහ වී සිටින වොල්ගා ඉදිරියේදී සිය සැමියා සමගින් දායක වූ ටෙලි නිර්මාණයක් ඔස්සේද ඇයව දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ඇය ගැන කතාබහක්.

වර්තමානයේ රංගන ක්ෂේත්‍රයේ විවාහයන් විහිළුවට ලක්වෙලා නේද?

මම ඒ කතාවට එකඟවෙන්නේ නැහැ. නළු නිළියක්ගේ විවාහ ජීවිත විතරක් නෙමෙයි, සාමාන්‍ය අයගේ විවාහ ජීවිතත් කැඩෙන බිඳෙන අවස්ථා තියෙනවා. ඒ වුණාට කතා කරන්නේ අපි ගැන විතරයි. දන්නේ අපේ විස්තර විතරයි. මම කියන්නේ විවාහය කියන්නේ දෙන්නෙක් තේරුම් අරන් ජීවිත් වෙන්න ඕන දෙයක්. ජීවිතේ සතුට බලාගෙනනේ අපි හැමදේම කරන්නේ. හැම ක්ෂේත්‍රයකම ඉන්නවා දික්කසාද වෙන කට්ටියක්. ඉතිං මම කියන්නේ මේ කාරණාව හැමෝටම පොදු දෙයක් කියලයි.

ජනප්‍රියත්වය නිසානේ මේ කාරණාව ඉස්මතු වෙන්නේ?
ඔව්, අනිවාර්යෙන්ම. කෙනෙක්ට තියෙන ජනප්‍රියත්වය නිසා තමයි මේ දේවල් ගැන බොහෝ දෙනෙක් කතාකරන්නේ. ඉතිං ප්‍රේක්ෂකයන් අපිට ආදරය කරන්නේ අපි කරන නිර්මාණ නිසානේ. ඔවුන් අපිට ආදරේ කරන්නේ අපි රංගන ශිල්පීන් නිසානේ. මං විශ්වාස කරන විදිහට ඒ අයට අපේ පෞද්ගලික ජීවිතේ අදාල වෙන්නේ නැහැ. අපි වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම වෛද්‍යවරයා දික්කසාද වෙලාද කියලා බලලා නෙමෙයිනේ අපි බෙහෙත් ගන්නේ. ඒ වගේ අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෝ අපිට ආදරය කරන්න ඕනේ අපේ රඟපෑම සහ නිර්මාණ වලට පමණයි. එහෙම නැතුව අපේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තීමට ජීවිතය පටල ගන්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ.

ඔබේ සැමියා එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණා නේද?
ඔව්, මම මේ දවස් ටිකේ කරන නාට්‍යය දෙකේම අපි දෙන්නා එකට වැඩ කරන්නේ.

දෙන්නා පැකේජ් ගහලද නිර්මාණ වලට දායකවෙන්නේ?
අපි දෙන්නගේ එහෙම දෙයක් නැහැ. මොකද අපි බැන්දට පස්සේ මේ කාලේ තමයි දෙන්නා එකට රඟපාන්නේ. මම සෑහෙන්න නළුවොත් එක්ක වැඩ කරා. අපි දෙන්නගේ එහෙම ගිවිසුම් නැහැ.

අලුතින් පටන් ගත්ත ව්‍යාපාරය ගැන කිව්වොත්?
ඇත්තටම මම ටිකක් කාර්යය බහුල නිසා හර්ෂණ තමයි ඒ පැත්ත බලාගෙන යන්නේ. ඉතිං හර්ෂණ ඒ පැත්ත හොඳට කරගෙන යනවා.

දෙන්නගෙන් වැඩිපුරම කාර්යය බහුල කවුද?
කාලයක් තිබ්බා. වැඩිපුරම කාර්යය බහුල වුණේ හර්ෂණ. නමුත් මේ කාලයේ සමානව කාර්යය බහුලයි. නමුත් මම කොහොමත් කාර්යය බහුල නිළියක් නෙමෙයි. හර්ෂණ තමයි කාර්යය බහුල.

කාර්යය බහුලත්වයත් එක්ක පවුල් ජීවිතේ නිදහසට මොකද වෙන්නේ?
ඇත්තටම කාලය කියන දේ කළමණාකරණය කරගෙන කලොත් හැමදේම කරන්න පුළුවන්. මගේ නම් ‘බොරු බිසී’ නැහැ. මම නම් පන්සල් පල්ලිත් යනවා මගේ වැඩත් කරගන්නවා. හිතන තරම් මම නම් කාර්යය බහුල නැහැ.

දැන් කොච්චර කල්ද වෙනවාද ක්ෂේත්‍රයට ඇවිත්? මම රඟපාන්න ඇවිල්ලා අවුරුදු හතරාමාරක් වෙනවා.

සිනමාවට කැමැත්තක් නැද්ද?
අනිවාර්යෙන්ම සිනමාවට කැමති. සිනමාවට ලැබුණු අවස්ථා දෙකක් මඟ හැරුණා. නමුත් මම හිතනවා අවශ්‍ය කාලයේදී අවශ්‍ය දේ හරියට වෙයි කියලා.

රංගනයටද? නිවේදනයටද? වැඩිපුර කැමති?
මට එහෙම කියන්න බැහැ. මොකද මම දෙකටම කැමති. මුලින්ම නිවේදිකාවක් වෙලා තමයි මම රංගන ශිල්පියෙක් වුණේ. මම ක්ෂේත්‍ර දෙකටම මම හරි ආදරෙයි.

නිවේදිකාවක් නිසාද රංගන අවස්ථාව ලැබෙන්නේ?
ඔව් නිවේදිකාවන් නිසා තමයි.

රංගන ජීවිතය ගැන තෘප්තිමත්ද?
හරිම තෘප්තිමත්. මොකද මම අහම්බෙන් නිළියක් වෙච්ච කෙනෙක් නෙමෙයි. කැමැත්තෙන් ආසාවෙන් මම මේකට ආවේ. ඒ නිසා හරිම තෘප්තිමත්. සම්මාන ලැබීම, රසිකයන්ගේ අගය කිරීම්, ඔවුන් අපිත් එක්ක ඉන්න එක ගැන හරිම තෘප්තිමත්.

රංගන ක්ෂේත්‍රය දියුණුද?
ප්‍රවීණයෝ කියන කතා ඇහැව්වාම දුක හිතෙනවා අපේ කාලේ ඇයි මෙහෙම නැත්තේ කියලා. නමුත් හරියට වැඩක් කර ගත්තොත් කර ගන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් එල්ල වෙලා තියෙන්නේ ඉන්දියානු නාට්‍ය, කොරියානු නාට්‍ය ඇවිල්ලා. ඒවට මිනිස්සු හුරුවෙලා. නාලිකා වලින් වුණත් අපිට වැඩිය ඒ දේවල් වලට තැන දීලා එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

රංගන ශිල්පීන්ට වර්තමාන ක්ෂේත්‍රය තුළ මූල්‍ය වටිනාකමක් තියෙනවාද?
මම නම් තාම කන්න බොන්නේ, වාහන පදින්නේ, අඳින්න පලඳින්නේ ඔක්කෝම කරන්නේ රඟපාලා. ඉතිං ඒ නිසා අපි හරියට හිටියොත් අපේ වැඩේ හරියට කර ගන්න පුළුවන්.

කලාවට ගොඩක් දෙනා එන්නේ මේ කලා විෂය ලේසි නිසාද?
අද ගොඩක් නිරූපිකාවෝ හිතන් ඉන්නවා එයාලා රංගන ශිල්පිනියෝ කියලා. මියුසික් වීඩියෝවක හිටපු ගමන්, පොඩ්ඩක් කොටට ඇන්ද ගමන් ඒ අය නිළියෝ කියලා හිතාගෙන ඉන්නවානේ. ඇත්තටම ඒක මෝඩ කමක්. රංගන කියන දේ ලේසී නැහැ. ඒක ලේසි විශයකුත් නැහැ. මම කියන්නේ අනිවාර්යෙන්ම මේ ගැන ඉගෙන ගන්න ඕනේ, කැප කිරීම් කරන්න ඕනේ, මේ ගැන අධ්‍යයනය කරන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ.

සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙන නිරූපිකාවන් නිසා රංගන ක්ෂේත්‍රය විනාශ වීමක් වෙනවා කියන තැනද ඉන්නේ?
අනිවාර්යෙන්ම ඒ අය නිසා ක්ෂේත්‍රය විනාශ වීමක් වෙනවා. ඒක ඉතිං ඒ අයගේ ඉගෙන ගත්ත මට්ටමනේ කියලා හිතලා කට වහගෙන ඉන්න තියෙන්නේ.

ඉදිරි බලාපොරොත්තු සහ කටයුතු?
ඇත්තටම මම ඉස්සර ඉඳන් බොහොම කැමැත්තෙන් හිටියා හොඳ නිර්මාණ වලට දායක වෙන්න සහ මම හැමදාම කිව්වේ කවදාහරි දවසක ‘වොල්ගා කල්පනී’ කියන්නේ හොඳ නිළියක් කියන දේ අහගන්න. ඒ දේට මහන්සි වෙනවා. ඒවගේම සතුටින් සැහැල්ලුවෙන් අනිත් අයට හොඳක් කරගෙන ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

ආදරණීය රසිකයන් වෙනුවෙන් කියන්නේ මොනවාද?
ගොඩක් ස්තූතියි. මම ක්ෂේත්‍රයට ඇවිත් පොඩි කාලයක් වුණත් ගොඩක් දෙනෙක් මට ආදරය කරනවා. ඒ ආදරේ හැමදාම තියාගෙන අපේ නිර්මාණ එක්ක හැමදාම ඉන්න. රංගන ශිල්පීන්, ශිල්පිනියන් කියන්නේ හොඳ මිනිස්සු, සංවේදී මිනිස්සු. පෞද්ගලික ජීවිත දිහා බලලා ඒ මිනිස්සු ගැන තීරණ ගන්න එපා. අපේ නිර්මාණ වලට ආදරය කරන්න කියලා තමයි මම හැමෝගෙන්ම ඉල්ලන්නේ.

ඩිලාන් ක්‍රිෂාන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top