photographic 2
Dec 28, 2018

මම කළු රංජිත් - හිරේදි කිව්වේ "ඔනාසිස්"

සමාජයේ දී අපට මුණගැහෙන විවිධාකාරීත්වයෙන් යුතු ඒකාකාරී මිනිසුන් අතර ඔහු වෙනස්ම මඟක් ගත් පුද්ගලයෙකි. ගොඩගැසීම පමණක්ම අරමුණු කරගත් ඒ පසු පස ලුහු බදින මින්සු­න්ගෙන් ගහන ලොවක ඔහු ඒ සියල්ල අත්හැර තමා සතුදේ අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට දෙවරක් නොසිතා උඩුගම්බලා පිහිනන්නට වෙරදරනා මිනිසුන්ගෙන් එකෙක් ලෙස හැඳින්වුව හොත් එය නිවැරදිය. තමාගෙන් සමාජයට පුද්ගලයාට වන සේවය ගැන පමණක්ම සිතන ඔහු රංජිත් දිසානායක ලෙස කවුරුත් ආදරය කරන චරිතයකි. තමා ගැන කතා කරන්නට අකමැති වුවත් අපගේ ඉල්ලීම පිට ඔහු ගැන කතා කරන්නට ඔහු එකඟ වුයේ ඔහු ගේ ජීවිතයෙන් සමාජයට යම් ආදර්ශයක් ගතහැකි බැවිණි. ඔහු කියැවීම හැමදෙනාටම වටින්නේ එනිසා ය.

මුලින්ම ඔබ හඳුනාගන්නට කැමැතියි?‍

මම රංජිත් දිසානායක. මට හුඟක් අය කියන්නේ කළු රංජිත් කියලයි. ඒ හින්දා කවුරුත් මාව හඳුනන්නේ කළු රංජි නමින්.එදා මම කරපු දේවල් වලට වඩා වෙනස්ම වෘත්තියක තමයි දැන් මම නියැළෙන්නේ. පොත් ප්‍රකාශකයෙක් ලෙස කටයුතු කරනවා. මේ වන විට මගේ අගහස් ප්‍රකාශන ආයතනයෙන් සැලකියයුතු ප්‍රකාශන ප්‍රමාණයක් එළිදක්වා තිබෙනවා. අපි මිත්‍යාමතවලට විරුද්ධව පොත් කිහිපයක් කළා. ජ්‍යෝතිෂය වගේ හදාරන අයට එය කණේ පාරක් වුණා. සමහරු මට ගහන්නත් ආවා. ඊට පස්සේ පුනර්භවයේ මනෝමායාව, ඒ වගේ අභියෝගයට ලක් කළ කෘති ප්‍රකාශයට පත් කළා. මම ප්‍රකාශයට පත් කළ නවකතාවකට සම්මාන ලැබුණා. ඒ 'හිතුවක්කාරී'. රුසියාවෙන් ද සම්මාන ලැබුණා. ඒ 'කුණාටුවෙන් උපත ලද්දෝ' කියන දොස්තවුස්කිගේ කෘතියක පරිවර්තනය සඳහා. මම මේ ආයතනය පවත්වාගෙන යන්නේ පොත් ප්‍රකාශ කරන්න බලාසිටින අයට සේවයක් ලෙසයි.

ඔබේ ළමා කාලය ගැන දැන ගන්න කැමතියි?

මම උපන්නේ නුගේගොඩ. මූලික අධ්‍යාපනය සඳහා නුගේගොඩ වෛසාකා පාසලටත් පසුව තර්ස්ටන් විදුහලටත් ඉන් අනතුරුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයටත් ඇතුළත් වුණා. තර්ස්ටන් විදුහලේදී තමයි බාල කාලයේ ජීවිතේ යම්යම් දේවල් තේරුම් ගියේ. උසස් පෙළට ධර්මපාල විදුහලට ඇතුළත් වුණා. මම වෛද්‍ය විද්‍යාව හදාරන්න බලාගෙන විද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඒත් මේ අවධියේදී තමයි මගේ ජීවිතේ වෙනස් මඟකට යොමු වන්නේ.

ඒ කොහොමද?

ඒක දිග කතාවක්. මම ඒ කාලෙ පාසලේ ක්‍රිකට් ගැහුවා. ටීම් එකේ ඕපනින් බෝලර් වුණේ මමයි. මගේ අතින් හරියට නෝ බෝල් යන නිසා මම ගෙදර ඉදිරිපිට පාරේ බෝලිං ෆ්‍රැක්ටිස් කර­නවා. මේ විදිහට ඉන්නකොට අපේ ගමේ හිටි කෙනෙක් මොනවද මේ ක්‍රිකට්. මේවා එංගලන්තෙ හීතලට කරන ක්‍රීඩා. මේවා තේරුමක් නැති දෙවල් කියමින් හැමදාමත් හවසට එතැනට ඇවිත් කියනවා. මම ඒ කිසිදෙයක් ගනන් ගන්නෙ නැතිව ක්‍රිකට් සෙල්ලම් කළා. දවසක් මේ යාළුවාට කරදරයක් වුණා. එයා මට ඇවිත් කියනවා මාව පොලීසියෙන් හොයනවා හැංගෙන්න තැනක් කියන්න කියලා. මම එයාව පයින්ම මගේ මිතුරෙකුගේ ගෙදරට එක්කන් ගියා. ඒ යන ගමන මට ඔහු මේ සමාජයේ ගැටලු ගැන ජන ජීවිතය ගැන දුප්පත් කම ගැන බොහෝ දේවල් කියනවා. මට ඒ දේවල් හොඳටම වැටහුණා. එදායින් පසු මම සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වුණා. ක්‍රිකට්, සම්පූර්ණයෙන්ම අත් හැරලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට යොමු වෙනවා.

KaluRanjith1 670px 18 12 28ඉන්පසුව සිදුවුණේ?‍

දේශපාලන ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඒ වෙනුවෙන් හංවැල්ලේ සිට කිරුළපන දක්වා පාසල් බාර වුණේ මටයි.

මේ දේවල්වලට බයක් දැනුණේ නැද්ද?

ඇත්තටම නැහැ. එදා අපිට බයක් දැනුණේම නැහැ. ඒ දේශපාලන ව්‍යාපාරයේ තිබුණේ අපේ ජීවිතේ තවත් කෙනෙක් , පිරිසක් වෙනුවෙන් කැපවීමයි. උදව් උපකාර කිරීමයි. ඒ විදිහට තව කෙනෙක් වෙනුවෙන් අපේ ජීවිත කැප කරනවා කියන්නේ එය හරිම වටින දෙයක්. අපි අනුන් වෙනුවෙන් පෙනී සිටිනවාය කියන දෙය ඇඟට ආවට පස්සේ තමන්ගේ ජීවිතය ගැන අපි තැකුවේ නැහැ. අපි ඒක රාශි වුණේ පටු අරමණු වෙනුවෙන් නෙවෙයි. පොදු අරමුණක් වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපිට සියල්ල අත්හරින්න පුළුවන් කමක් තිබුණා. එය භාවනාවක් වගේ වැඩක්. ඒ භාවනාව කියන්නේ ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් පෙනී සිටිනවාය කියන එකයි. අද නායකයන් තව කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැනෙ. ආත්මාර්ථකාමී පිරිසක්. එහෙම දෙයක් අපේ ව්‍යාපාරයේ තිබුණේ නැහැ. අද සමාජයේ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ඉස්සෙල්ලම තමන්ට ඉන්න ගෙයක් හදාගන්න. ඊළඟට වාහනයක් ගන්න. ඒ වගේ ජීවිත අභි­ලාෂයන්ගෙන් පිරිලා. ඒ වකවානුව ඉතාම වාසනාවන්තයි. දරුණු කරදරවලට මුහුණදීලා ජීවිතේ ගැන අදටත් කතාකරන්න පුළුවන් පන්නරයක් ලැබුණා.

ඔබේ දේශපාලන තෝරාගැනීම ගැන මවුපියන් මොනවද කිව්වේ?

මගේ අම්මා නම් හරිම නිවුණ කරුණාභරිත මවක්. ඒත් තාත්තා මේ දේවල්වලට විරුද්ධ වුණා. 1977 දි එන් එම් පෙරේරා 71 කැරැල්ල ගැන කිව්වේ කජු කිරි කොල්ලන්ගේ වැඩක් කියලයි. තාත්තත් ඒකම තමයි මට කිව්වේ. තාත්තා කොහෙත්ම කැමැති වුණේ නැහැ. සමහර දවස්වලට මගේ කාමරේ යාළුවො හය හත්දෙනෙක් ඉන්නවා. තාත්තා එන විට මේ අය බයට ඇද යටට යනවා. තාත්තා ඇවිත් ඇද උඩ නම් එකෙක්වත් නැහැ.යට ඉන්වද දන්නේ නැහැ කියලා යනවා.

71 කැරැල්ල ගැන මතකය මොන වගේද?

හරි සුන්දර මතකයක් තිබෙනවා. යාපනේ හිර කර සිටි විජේවීරව බේරගන්න කොළඹින් යන බස් එක සංවිධානය කිරීම පැවැරුණේ මට. ඒත් එදාම රෑ පොලීසියට මොනරාගලදී ‍ ආයුධ සමඟ වාහනයක් අසුවුණා.

71කැරැල්ල අසාර්ථක වුණා?

ඔව්. ඒ අරගලය සාර්ථක නොවන්ට විශාල හේතු තිබුණා. එයට සම්බන්ධ වූ අවුරුදු 18ක් විතර වූ අපි වගේ අය දේශපාලනයෙන් මුහුකුරා ගිහිල්ල නැහැ. අපි රැස්වීම්වලට යනවා. ඒ ගොල්ලන් කියන වැඩ කරනවා. සාමුහිකව කඳවුරු පවත්වනවා. ඒත් අපි ප්‍රාර්ථනා කරපු දේ සිද්ධ වුණේ නැහැ. මිනිස්සු විවිධයි. මම හැසිරෙන විදිහට නෙමෙයි ඔබ හැසිරෙන්නේ. වෙන අපේක්ෂාවන් තියෙන්න පුළුවන්. නමුත් එකටම හිටි මිනිස්සු තුළ වුණත් විවිධ අදහස් තිබුණා. ඒක නිසා එය අසාර්ථක වෙන්න මේ සියලුම කාරණා බලපෑවා.

රටේ නම ගිය වෛද්‍යවරයෙක් හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තිබෙන අවස්ථාව මඟ හැරී ගියා නේද?

මට මොහොතකටවත් ඒ ගැන දුකක් නැහැ. ඒ වගේම ඒ ගැන මට කිසිවක් හිතන්නෙත් නැහැ. ඒකට හේතුව එහෙම නොවුන එකේ වටිනාකම ඊට වඩා වැඩියි. ජීවිතේ කියන්නේ ඊට වඩා වටින දෙයක්.

හිරගෙදර ගෙවුණු ජීවිතය මොන වගේද?

මගේ ජීවිතය උඩු යටිකුරු කළේ හිරේදි කිව්වොත් හරියටම හරි. 71 එකේ කැරැල්ලෙදි හිරේට නියම වුණේ සමාජ යුක්තිය වෙනුවෙන් සටන් කරපු තරුණ බුද්ධිමතුන්. එතැන හිටියේ වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, ශිෂ්‍ය වගේ පිළිගත් වෘත්තීන්හි යෙදෙන්නට බලාගෙන අධ්‍යාපනය හදාරපු සහ ඒ වෘත්තීන් හි නියැලුණු අය. අපිත් එක්ක හිටියා ගුරුවරයෙක් පාලිත ශ්‍යාම්දාස් කියලා. එයා තමා අපිට ජීවිතයේ ඇත්ත කතාව තේරුම් කළේ. සාමාන්‍ය මිනිසුන්ට වගේ හිරකාරයකුට පුළුවන් ද එහෙම හිතන්න. ඔහු අපිව ඒ දෙයට හරි ගැස්සුවා. ඔහු හිරෙන් නිදහස් වෙලා කැකිරාවෙ ළමයින්ට රුපියල් දෙකට ඉංග්‍රීසි ඉගැන්නුවා.මේ වෙන කොට එයාගෙන් නඩු කාරයොත් ඉගෙන ගන්නවා. ඉතාම ආදර්ශවත් ගුරුවරයෙක්. මේ සමජයෙ එවැනි පරමාදර්ශී ගුරුවරු නැහැ.මේ අයගේ ඇසුර මගේ ජීවිතයට ආලෝකයක් වුණා. ලෝකෙ තිබෙන වටිනාම පොත් මම කියෙව්වේ හිරගෙදර දී. සමාජය ගැන විනිවිද දැක්කේ එතැනදී. අපි හිරේ දි රෑට එකතු වෙලා පොත් කියවනවා. ඒකත් නිකම් නාට්‍යයක් වගේ. තෝල්ස්තෝයිගේ රීසරෙක්ෂන් කියලා පොතක් තිබුණා. ඒ පොත සමාජය විනිවිද දකින කැඩපතක් වගේ. ඒ පොත කියෙව්වම වෙනින් පොත් කියවන්න ඕනද කියලා හිතෙනවා. රුසියාවේ තිබුණු ජන ජීවිතය, උසාවි, දේශපාලන කණ්ඩායම්, සාමාන්‍ය මිනිස්සු පවුල් ජීවිත ගැන ඉතාම ලස්සනට විශ්ලේෂණය කරලා තිබෙනවා. දොස්තවුස්කිගේ කර්ම සෝ බ්‍රදර්ස් පිටු 1800ක්. මම එය මාසයක් තිස්සේ කියෙව්වා. ඒවා ගැන තමයි හවසට අපි කතා කරන්නේ. එයින් ජීවිතේ හරිම ප්‍රබෝධයක් ලැබුවා. අපි රෑට කියවන පොත් ගැන ඒවායේ කතා හිරගෙදර ගාඩ්ලටත් කියනවා. ඒ අයට ඒ වගේ දැනුමක් ලබා ගන්න කියවන්න හිතන්න රස විදින්න එහෙම පසුබිමක් තිබුණෙ නැහැ. ඔවුන් කියවන්නට, හිතන්නට මේ නිසා යොමු වුණා. ඒ දේවල් බන්ධනාගාරයේ නිලධාරීන්ට කිව්වම ඔවුන් හිරිවැටිලා යනවා.මනුෂ්‍යත්වය, එහි වටිනාකම් ගැන අවබෝධය ලැබුවේ එතැනදී. වසර පහක් පමණ රටේ හැම බන්ධනාගාරයකම මේ කාලයේ ගත කළා. ඒ වගේම අපි අපේ අයිතිවාසිකම් හිරගෙදර දී නිසි ලෙස ලබා ගත්තා. ඒවාට සටන් කළා. අපිට පුළුවන් වුණා බන්ධනාගාරයේ නිලධාරීන්ට පවා ඒඅයට තියෙන සුදුසුකම්වලට අයිතිවාසිකම් දිනා දෙන්න.

ඔබ හිටි හිර ගෙවල්වල දී ලබපු අත්දැකීම් මොනවාද?

මම හිරගෙවල් රැසක හිටියා. මට හිරගෙදර කවුරුත් කිව්වෙ ඔනාසිස් කියලා. ඔනාසිස් කියන්නෙ ලෝකෙ හිටපු ලොකුම සල්ලිකාරයා. වැඩිම නැව් ගාණක් තිබුණෙ ඔහුට. හිරේ ඇතුළෙ ඉඳන් එළියට ලියුම් යවන්න පුළුවන් කෙනාට කිව්වෙ නැවක් කියලා. මට හිරේදි නැව් පනහකටත් වඩා තිබුණා. හුඟාක් අයගෙ ලියුම් මම එළියට යැව්වෙ ඒ් නැව් හරහා.

බෝගම්බර එල් වෝඩ් එකේ හිටියා මාස තුනේ හයේ හිරකාරයෝ. මේ අයට නිදාගන්න තැනක් නැහැ. කන්න පිඟානක් නැහැ. ඒක බලා ඉන්න ඉන්චාර්ජ් තමයි නුවර අයෝමය පුරුෂයා. මේ අයෝමය පුරුෂයා එන්නේ වේවැල අරගෙනයි. ඇවිත් ඒ හිරකාරයන්ට තලනව තලනව ඉවරයක් නැහැ. මට මේක බලා ඉන්න බැරි වුණා. මම එයා ළඟට ගිහින් ඇහුවා සර් ඔයාට කව්රු හරි හිරිහැර කරනවද කියලා. ඒ ගමන ඔහු මගේ අතින් අල්ලගෙන පාටියෙන් එළියට ඇවිත් මගෙන් ඇහුවා ඇයි අපේ වයිෆ් ගැන ඔයාට කවුරු හරි මොනවත් කිව්වද කියලා. මං කිව්වා සර් මම ඒක නම් දන්නෙ නැහැ. මම එක දෙයක් නම් දන්නවා තමන් කාට හරි හිරිහැරයක් කරනවා නම් තමන්ටත් කවුරුහරි හිරිහැරයක් කරන්න ඕන කියලා. පස්සේ ඒ නිලධාරියා මාත් එක්ක මොනතරම් මිතුරු වුණාද කිව්වොත් එයාට මම කියවන රුසියන් ලේඛකයින්ගේ පොත්වල එන ජීවන කතා කියනවා. එයාගෙ කතාවත් මට ඔහු කිව්වා. එයත් එක්ක තියෙන තරහට සමහරදාට ගෙදර යන විට එයාගෙ නෝනා එයාගෙ යුනිෆෝම් එක ගිනි තියලා තිබුණා. මට කවදාවත් එයත් එක්ක ජීවත් වෙන්න බැහැ කියලා තමයි එයා කිව්වේ. මම ඇහුවා 'ආදරේ කියන එක සර් දන්නවද?' කියලා. ආදරේ කියන්නෙ හිතුවිල්ලක් විතරයි. එය ඉතාමත්ම පිරිසුදු එකක්. කෝන්තර මොකුත් නැහැ. මම මේ දේවල් කියන කොට එයා මගෙන් ඇහුවා දැන් ඔයා මොනවද මට කියන්නේ කියලා. මම කිව්වා ආදරේ කරන්න නෝනට. මට ගහත්දිත් ආදරේ කරන්න කියලද ඔයා කියන්නේ? නිලධාරියා මගෙන් ඇහුවා. කමක් නෑ ඔයා ඒක ප්‍රකාශ කරන්න කියලා මම කිව්වා. කොයි මොහොතක හරි එයා තේරුම් ගනියි ඔයා තමයි නියම මිනිහා කියලා. මාස තුනක් වගේ ගියේ ඒ ජීවිතවල මොනතරම් පෙරළියක් ඇති කළා ද කිව්වොත් උදේ කෑමට ඒ ඔෆිසර්ගෙ නෝනා හදල දුන්නු කෑම වෙල මටත් ගෙනත් දෙනවා. ඇත්තටම ඒ යහපත් සිතුවිලි, උපදෙස් රණ්ඩු කරපු පවුලක් සාමකාමී කළා. ඒ ජීවිත සුන්දර කළා. මේ වගේ සිදු වීම් රැසක් මා සතුව තිබෙනවා. හිරේ තිබුණා ඉන්ඩස්ට්‍රියල් පාර්ටි කියලා අංශයක්. මෙය පාලනය කළේ අප්පුහාමි කියලා නිලධාරියෙක්. මාත් එක්ක වචනයක් දෙකක් කතා කරන කොට මිනිහට තේරුණා මා ගැන. එතැන් පටන් මිනිසා හැකි හැමවෙලාවකම එයාගෙ ජීවිත කතාව මාත් එක්ක කියනවා. මට මගේ පෙම්වතියත් එක්ක පැය ගණන් දුරකතනයෙන් කතා කරන්නට අවස්ථාව දෙනවා. මම හිරෙන් නිදහස් වෙන දවසේ මට කලින් එයා අපේ ගෙදර ගිහින් මම එනකන් බලාගෙන හිටියා. අපිව වරක් පල්ලෙකැලේ කඳවුරට මාරු කළා. එතැනදී වගා කරන්නට බිම්කැබලි ලැබුණා. මාත් එක්ක එයට එක් වුණේ පියදාස සහෝදරයා. වගාවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අපිටත් ලැබෙනවා. ඉතින් මමත් මහන්සිවෙලා වැඩ කරනවා. ඵලදාව ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී මාව බෝගම්බරට මාරු කරනවා. එදයින් පසුව පියදාස කදාවත් මට හමුවුණේ නැහැ. කොහොම හරි අපිට නිදහස දෙන්න කිට්ටුව අපි හැමදෙනාම එක හිරගෙදරකට ගෙන ආවා. එතැනදී පියදාස සහෝදරයා මට යළිත් හමුව‍ෙනවා. ඔහු මාව දැකලා. එක්සසයිස් පොතක් ඇතුළෙන් රුපියල් දෙසීයක් අරගෙන මට දීලා කියනවා. පල්ලෙකැලේ වගාවේ මේ ඔයාගෙ කොටස කියලා. බලන්න එදා ඇති වුණු බැඳීම. ඔහු සෑහෙන කලක් ගතවෙලත් මගේ කොටස අරන් තියලා තිබුණා. මනුෂ්‍යත්වය තමයි ඒ.

හිරෙන් නිහස් වී ජීව‍ෙතය ගොඩෙනඟා ගත්තේ කොහොමද?

මම හිරෙන් නිදහස් වුණාට පසුව මට සී අයි ඩී එකෙන් එන්න කිව්වා. ඔබරෝයි හෝටලයේ ස්ටුවට් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමැතිද ඇහුවා. එදා මට නිකරුණේ දවස් 21ක් පුරා හොඳටම ගහපු උන්ගෙන් රස්සා ගන්න කැමැත්තක් මට තිබුණේ නැහැ. මම පසුව කියන්නම් කියලා ආවා. මගේ මල්ලී විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර ෆාම් එකක් කළා. එය ඔහු මට කරන්න කිව්වා. එතැන් පටන් එය ජීවන වෘත්තිය විදිහට කරගෙන ගියා. ඉන්පසුව විවිධ රැකියා කළා. ඒවායින් හොඳට මුදල් හරි හම්බ කළා. මගේ මිතුරන්ට මම උදව් කළා.

ඔබ තවත් බොහෝ දේ සමාජයට බෙදා දුන්නා?

මැලිබන් එක ඉස්සරහා තිබුණා ස්පෙයාර් පාර්ට් කඩයක් ලහිරු ට්‍රේඩ් සෙන්ටර් කියලා. මම ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගෙනල්ලා විකුණනවා. 1987 දි මට එතැ­නට ඇවිත් වෙඩි තිබ්බා. මේ නිසා මම රට අතහැරලා සිංගප්පූරුවට ගියා. මේ විදිහට රටවල් ගණනකට ගියා.වසර ගණනක් රටින් පිට හිටියා. ඒ අතරත් මගෙන් උදව් අවශ්‍ය අයට උදව් කළා. මේ හැමදේම අතර යළිත් ලංකාවට ඇවිත් මම ගුණදාස කපුගේත් එක්ක එකතු වෙලා සාමුහික වශයෙන් විවිධ වැඩසටහන් දියත්කළා. නන්දන මාරසිංහ සමඟ 'කාලයේ රාවය' දැවැන්ත සංගීත වැඩසටහන දියත් කළා. දිවුල්ගනේ වැනි ගායකයන් කරලියට ආවේ මෙයින්. ඊට පස්සේ සාමන්‍ය ජීවිතේ ගෙවන්න ඕන කියන අදහසින් නෙමෙයි හිටියේ සමාජයට මොනවා හරි කරන්න ඕන කියන අදහසින් කටයුතු කළේ. අදටත් එය සිතේ පවතිනවා. අද අපි කරන්නේ වික්ටර් අයිවන් සහ තවත් පිරිසක් එකතු වෙලා කරන 'පුනරුදය' ජනතා ව්‍යාපාරයට පණ දීම. එහි සාකච්ජා දෙසීය ගාණක් විතර අපි කරලා තිබෙනවා. මේ රටේ ජනතාව දේශපාලන වශයෙන් හරි දේ දකින්නේ නැහැ. මොනවද කරන්න ඕන කියලා ඒ අය දන්නේ නැහැ. බලය තියෙන තැන්වලට තමයි ඒ අය ඒක රාශී වෙන්නේ. අපි ජනතාවගෙන් බලයක් ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ මුළු ජනතා සනුහරේම එක්විය යුතුයි කියලයි. සිංහල, දෙමළ මුස්ලිම්, බර්ගර් එකතු කරගත් ජාතිකත්වයක් නැහැ දැන් රටේ. එය ඇතිවෙන්න ඕන.එයයි මෙහි අරමුණ.

ඔබ තමා වෙනුවෙන් නෙමෙයි අනෙකා වෙනුවෙන් කැප වෙන කෙනෙක් ?

එය පුංචි කාලෙ ඉඳල පුරුදු වුණු වැඩක්. ඔබට පුළුවන්ද ඔබෙන් ඉල්ලන ඕනම දෙයක් දෙන්න? (මම කල්පනා කර බැහැ කිව්වෙමි) ඒත් මට පුළුවන් මගෙන් ඉල්ලන ඕනම දෙයක් දෙන්න. ජීවිතේ වුණත්. මගේ බිරිය මගෙන් අහනවා ඇයි ඔයා හැමෝටම කඩේ යන්නෙ කියලා. මම කියන්නේ ඒ විදිහට කඩේ යන්න මිනිස්සුත් මේ සමාජෙ ඉන්න ඕන කියලයි. සමාජය යහපත් වෙන්නේ එහෙමයි. මිනිස්සු එක්ක කතාකරන්න ඕන. බැදීම් තියෙන්න ඕන. එවිටයි සමාජයත් වෙනස් වෙන්නේ.

ආපසු හැරී බලත් දී ඔබේ ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

මට ජීවිතේ හැම එකටම කතාවක් තිබෙනවා. මගේ අතේ සත පහක්වත් නැතුව මට පුළුවන් ඕනම ලොකු ව්‍යාපාරයක් කරන්න. ඒක තමයි මගේ චැලෙන්ජ් එක. මම රුපියල් සීයක් තියාගෙන තමයි අද ඉන්න ගේ සල්ලිවලට ගත්තේ. පූට් බයික් එක විතරයි මට තිබුණේ. මගේ මිතුරන් ගෙන් මම ණයට ගත්තා. මම ඒ ණය මාස හයක් ඇතුළත ගෙවා නිම කළා. ඒ අයටත් උදව් උපකාර කළා. හලාවත ඉස්ටෑන්ඩ් එකේ ටොපි විකිණූ කමල් මට දරුවන්ගේ කැටය කඩලා ගේ ගන්න මුදල් දුන්නේ. මම එදා හිතුවා මට කළ උපකාරයට ඔහුට හලාවතින් අක්කරයක් අරන් දෙනවා කියලා. ඒ දේ මම කළා. අද දරුවන්ට අපිට වගේ සමාජ සම්බන්ධතා නැහැ. ඒ අය දෙමව්පියන්ගෙන් ලද දෙයකින් ඉදිරියට යන්නේ. විශේෂම දේ තමයි කෙනෙක්ගෙන් මොනවා හරි දෙයක් ගත්තොත් ඒ කෙනාට ඒක දෙන්න ඕන කියන හැඟීම අද සමාජයේ නැහැ. මම කවදාකවත් දැකල නැති හිරුක කරුණාරත්න මට පුවත්පතක මෙහෙම ලියලා තිබුණා.

කළු රංජිත් වෙනුවෙන්!
තමන් පිළිබඳ නොසිතූ
අනුන් පිළිබඳම පමණක් සිතූ
සියල්ල අතහැර සියල්ල ලැබූ
දුවන ලෝකේ තැනක නැවතුණු
මගේ ලෝකයෙ වීරයා ඔහු...

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
(සිළුමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top