Jan 14, 2019

මල් පැලේ උපන් පන්සලේ පියතුමා

මෙරට ජාතිකත්ව හා ආගමික මිත්‍රත්වය, සහයෝගිතාව ප්‍රවර්ධනය, කවි කලාව, ගීත ක්ෂේත්‍රය හා සංස්කෘතික ප්‍රගමනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ කලාශුරී මර්සලින් ජයකොඩි පියතුමාගේ 20 වැනි අනුස්මරණය අදට යෙදී තිබේ. උන්වහන්සේගේ ඒ සොඳුරු මතකයකන් අවදිකමින් සතිඅන්ත පුවත්පතක කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

“වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ

ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ...”

දුරුත්තේ දී වුණත් වෙසක් කැකුළු ගීතය ඇතැම් විට මුවගට නැඟෙයි. ඒ පද අතර සිත නතර වෙයි. ස්වභාව සෞන්දර්ය පිළිබඳ ලියැවුණ එවන් ගී සිහිපත් කරන්නේ ඒ පද රචකයාගේ දක්ෂතාවයි. බාල වියේ සිට ඇසූ ඒ ගී පද සිහි වන විට එතුමාගේ අහිංසක රුව දෑස් ඉදිරියේ මැවෙයි. ඒ මර්සලින් ජයකොඩි පියතුමාය.

උන් වහන්සේ ස්වර්ගස්ථ වී මේ ගෙවෙන්නේ විසි වැනි අවුරුද්දයි. උන්වහන්සේ ගැන සිහිපත් වන සෑම විටෙකම උන් වහන්සේගේ ළඟම ඥාතියෙකුවත් නැති දැයි යන ප්‍රශ්නය ද සිතෙහි මතු වෙයි. පසුගිය දිනෙක ආනන්ද කරුණාරත්න නම් වූ සිළුමිණ පාඨකයෙක් අප ඇමතීය.

“මර්සලින් ජයකොඩි පියතුමාගේ ඥාති දියණියක් සිටිනවා. ඇය කැමතියි උන්වහන්සේ ගැන කතා කරන්න.”

ආනන්ද කියූ තොරතුරු අනුව අපි පසුගිය දිනෙක ජයකොඩි පියතුමන් ජීවත්ව සිටියදි වාසය කළ කලාපුර නිවෙසට ගියෙමු. ඔවුන් අප පිළිගත්තේ ඉතා ආදරයෙනි.

“ඉතිං”

අපි කතාවට මුල පිරුවෙමු.

“වැඩක් නැහැ දරුවෝ. මගේ ස්වාමි නැති වුණාට පස්සේ ජීවිතේ මහා පාළුවක් දුකක් දැනෙනවා.”

විනීප්‍රීඩා නම් වූ ඇය හඬන්නට වුවාය. ඇගේ දුක සංසිඳෙන තුරු හඬන්නට ඉඩ දී අප බලා සිටියෙමු.

නිවෙස ඇතුළේ එක් පසෙක ඇත්තේ ජයකොඩි පියතුමන්ගේ විශාල ප්‍රමාණයේ ආලේඛ්‍ය චිත්‍රයකි. එය දුටු විට දැනෙන්නේ පියතුමන් ජීවමාන බවකි. එම සිතුවම ඇඳ ඇත්තේ පාලිත ලොකුපෝතාගම චිත්‍ර ශිල්පියා විසිනි.

නිවෙසේ එක් කාමරයක් ජයකොඩි පියතුමන් සිටියදි පාවිච්චි කර ඇත. එහි තවමත් එතුමා සිටියදී පරිහරණය කළ දෑ ඇත. මේ සියල්ල බලන අතරේ මම නැවත ඈ ඉදිරියේ අසුන් ගතිමි.

“දැන් මගේ වයස අවුරුදු අසූ පහයි. මගේ තාත්තයි පියතුමයි, අයියයි මල්ලියි. මගේ තාත්තා ජේමිස් ජයකොඩි. අපේ සීයා දොන් ජුසේ අප්පුහාමි.

අපේ පවුලේ ඔක්කෝම පස්දෙනයි. නමුත් මමයි මගේ අක්කා එරිනුයි අපේ පුංචි කාලේ පියතුමාව ළඟින් ඇසුරු කළා. අපේ සීයා ඒ කියන්නේ පියතුමාගෙ තාත්තා බොහෝම ගම්භිර කෙනෙක්. ඔහු ගමේ ප්‍රසිද්ධ වෙදමහත්තයෙක්. ඔහු කොණ්ඩය බැඳලා, කලිසම ඇඳලා ඊට උඩින් පූජීසිල්ක් සරම ඇඳලා බ්‍රැකට් ඔරලෝසුව දාලා, තමයි හැඩ වෙන්නේ. අග උල්වෙච්ච සපත්තු දාන්නේ. ඒ මදිවට නැමි පනාවකුත් ගහනවා. සීයාට අඳින්න පැය භාගයක් විතර ගතවෙනවා.

දවසක් සීයා බොහෝම උවමනාවෙන් මතුර මතුර තෙලක් හිඳිනවා. තෙල හිඳලා ඉවර වුණාට පස්සේ සීයා ඉස්සරහා වාඩිවෙලා ලියුමක් ලියනවා. අක්කගෙයි මගෙයි වැඩේ සීයා මේ ලියන ලියුම දිහා හොරෙන් බලන එක. සීයා ලියුම ලියන්නේ පියතුමාට. ලියුම මුලින්ම පටන් ගන්නේ ගරු කටයුතු පූජා ප්‍රසාදතමනි කියලා.

මේ කාලේ පියතතුමා හිටියේ මග්ගොන. අපි හිටියේ මීගමුව පළාතේ. පියතුමා හිටිය මීසමේ හිටියා අපේ ඥාති වන අයියා කෙනෙක්. ඔහුගේ නම ලියෝ. සීයා පියතුමා බලන්න මීසමට යන විට අපිත් යනවා. සීයා ලියෝ ලියෝ කියලා අර අයියට කතා කරනවා. ඔහු එන්නේ නැති වුණාම සීයා අලියෝ කියලා කෑගහනවා.

ඒ කාලේ පියතුමාගේ කනේ අමාරුවක් තිබුණා. සීයා අර තෙල් හින්දේ ඒ අසනීපයට. මේ තෙල ගෙනිහිල්ලා සීයාම පියතුමාගේ කනේ ගානවා. ඒ තෙල හරි ගඳයි. සීයා එහෙට මෙහෙට වන තුරු ඉඳලා පියතුමා තෙල් හෝදලා ලැවන්ඩර් ක්‍රීම් ගාලා සුවඳ බලනවා.”

විනීප්‍රීඩා සිහිපත් කරන්නේ සිය ළමා වියේ පියතුමන් ඇසුරේ ලැබු අත්දැකීම්ය. ඇතැම් විටෙක ඇය නිහඩඬව සිටින්නීය. ඒ පියතුමන් නැති සෝකය දරාගැනීමටය. තවත් විටෙක ඇය මහ හඬින් හිනැහෙයි. ඒ පියතුමන් කළ කවටකම් සිහිපත් වීමෙනි.

“පියතුමා නෙළුම් පිපිලා ගීතිකාව ලිව්වා. ඒක ගැයුවේ සිරිල් හා සුසිල් කියලා දෙන්නෙක්. අක්කයි මමයි හැම වේලාවෙම පියතුමාගේ අත්දෙකේ එල්ලිලා ඉන්නේ. අපිට ඒ කාලේ වයස අවුරුදු හයක් හතක් විතර ඇති. ඔහොම අත්වල එල්ලිලා අපි පියතුමා එක්ක ගියා. පියතුමා ජනේලය ළඟට ගිහිල්ලා බටනළාව අරගෙන නෙළුම් පිපිලා කියලා ගැහුවා විතරයි ඒක ඇතුළේ හිටපු මී මැස්සෝ ඇවිස්සිලා පියතුමාට විද්දා. අපිට හරියට හිනා. පියතුමාත් හූ කිය කියා හිනා වෙනවා. පියතුමාගේ මුහුණ හොඳටම ඉදිමිලා.

පහුවදා මොකක් හරි උත්සවයක්. උත්සවයට ආව අය පියතුමාගෙන් අහනවා ඇයි මුහුණ ඉදිමිලා තියෙන්නේ කියලා. පියතුමා කියනවා ඊයේ රෑ මී මැස්සෝ නෙළුම් පිපීලා කිව්වනේ කියලා. එහෙම කියලා පියතුමා හිනාවෙනවා.”

විනීප්‍රීඩා කියන්නේ පියතුමා ගැන අප මෙතෙක් නෑසු කතාය.

එක්දහස් නවසිය දෙකේ ජුනි මස තුන් වැනි දා උපන් මර්සලින් ජයකොඩි පියතුමා පුජකවරය ලබන්නේ එක්දහස් නමසිය විසි හයේ දෙසැම්බර් මස විසි වැනිදාය. කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනු ලබන පියතුමා පසුව වයස අවුරුදු විස්සේදී දෙව්සත්හලට ඇතුළත් වෙයි. විවිධ පළාත් මිසම්වල සේවය කළ පියතුමා කලක් ඥානාර්ථ ප්‍රදීප පුවත් පතේ කර්තෘ ලෙස ද කටයුතු කළේය.

පියතුමා විසින් නෙළුම් පිපිලා, රොනට වඩින බිඟු ඔබයි, ආදි ගී රචනා කරනු ලබන්නේ මීට අවුරුදු හැත්තෑ අටකට පෙරය.

පල්ලිය උරුම වූවද පන්සලට ළැදියාවක් දැක්වූ කතෝලික බෞද්ධ භේදයකින් තොරව වටිනා ගී නිර්මාණය කළ උන් වහන්සේ අපුරු චරිතයක් විය. පිලිපීනයේ සුප්‍රකට මැග්සෙසේ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද ජයකොඩි පියතුමාය. අවාසනාව නම් පසු කලෙක පියතුමන්ට ලැබුණ එම සම්මානය කවුරුන් හෝ සොරකම් කර තිබීමය.

“රහස් පොලිසියෙන් ආවා සොයන්න. මට හිතෙනවා ඒක ගත්ත කෙනා ගැන පියතුමා දැනගන්න ඇති. පියතුමා ඒ ගැන කතා කරන්න කැමති වුණේම නැහැ.

මගේ ජීවිතේ හැඩ වුණේ පියතුමා නිසා. යුද්ධ කාලේ අපි මීගමුවේ ඉන්න බය වුණා. තාත්තා වන්නියට යමු කියලා අපිවත් අරගෙන බිංගිරිය පැත්තට ගියා. ඉස්කෝලේ ගමන නතර වෙලා තිබුණේ.

මම දවසක් අම්මගේ සාරි කැලි දෙකක් ඇඳගෙන සෙල්ලම් කරනවා. පියතුමා එනවා දැකලා මම දිව්වා . පියතුමා මාව උස්සගෙන ඇවිත් කොළඹ ගෙනාවා. වත්තල හෝලි ෆැමිලි කොන්වන්ට් එකට ඇතුළත් කරලා ඉගැන්නුවා. පියතුමා සුමානයකට සැරයක්වත් බලන්න එනවා. අක්කයි මමයි පියතුමාට සරම් අන්දනවා. ඊට පස්සේ පටියකුත් ගැට ගහනවා.

දවසක් අක්කයි මමයි එකතුවෙලා පිජාමා එකේ කකුල් මූට්ටු කළා. අන්තිමට පියතුමා කකුල් දෙකම එකක් ඇතුළට දාලා ඇදගෙන වැටුණා. අපි හිනා වෙන කොට පියතුමාත් හිනා වෙනවා. තව දවසක් පියතුමාගේ යාළු විදේශික යුවළක් ආවා එතුමා බලන්න. ඔවුන් පියතුමාට මේස් ජෝඩුවක් ගෙනාවා. පියතුමා මේස් ජෝඩුව සාක්කුවේ දාගෙන අපි දෙන්නව අරගෙන චිත්‍රපටයක් බලන්න ගියා. අපි ගියේ කෝච්චියෙන්.

කෝච්චියේදි පියතුමා සපත්තුව ගලවලා මේස් දාගත්තා. නමුත් ඔහුට දාගන්න පුළුවන් වුණේ එක මේස් එකයි. අපි බහින තැනට ආවා. පියතුමා අපි දෙන්නව අත්දෙකට අරගෙන කෝච්චියෙන් බැස්සා. මේස් එකක් කෝච්චිය ඇතුළේ. ඊට පස්සේ මේස් කකුල නිකං කකුල කිය කියා හිනාවෙවි පාර දිගේ ගියා. පියතුමා බොහෝ විනෝදයෙන් හිටිය කෙනෙක්. ඔහු කා සමඟවත් තරහා වුණේ නැහැ.

ඉගෙනීම අවසානයේ මම පාසල් ගුරුවරියක ලෙස ගුරු සේවයට බැඳුණා. විවාහ වුණා. නමුත් මට පුළුවන් හැම විටම පියතුමා බලන්න ගියා. එතුමාත් අපි ගැන සොයා බැලුවා.

පියතුමා හරිම කැමතියි මුං කැවුම්, කුරක්කන් පිට්ටු, හැලප, ආදිය වගේම අමු හාල්මැස්සන් උයලා, අගුණකොළ සම්බෝල, එක්ක බත් කන්න”

විනීප්‍රීඩාට ජයකොඩි පියතුමන් ඇසුරේ ගෙවූ ජීවිතය සොඳුරු අත්දැකීමකි.

සංගීතයට කලාවට ඇල්මක් හැකියාවක් දැක්වූ ජයකොඩි පියතුමා සංගීතයට වැඩි ඇල්මක් දැක්වුයේය. උන් වහන්සේ සංගීත භාණ්ඩ ද වාදනය කළේය. අද ද ජයකොඩි පියතුමන් විසින් පරිහරණය කරන ලද සංගීත භාණ්ඩ විනීප්‍රීඩා බොහෝ පරිස්සමෙන් ආරක්ෂා කරගෙන සිටී.

“මේ ගේ දැන් පරණයි. වහල තෙමෙනවා. මට මේවා රැකගැනීම අමාරුයි. පියතුමාගේ පොත්පත් සංගීත භාණ්ඩ මෙන්ම එතුමා පාවිච්චි කළ බොහෝ දේ තිබෙනවා. මම මේවා බොහොම අමාරුවෙන් පරිස්සම් කරන්නේ. සමහර දේවල් මීයෝ කාලා යනවා. දැන් පරම්පරාවට මේවායේ අගයක් නැහැ. නමුත් මගේ ස්වාමී මේ රටේ ජාතික සම්පතක්. මම බැරි අමාරුවෙන් හරි මේ දේවල් රැක ගන්නේ ඒ නිසයි. ආනන්ද කරුණාරත්න මහත්මයා අපට පොරොන්දු වුණා පියතුමා නමින් මේ හැමදේම පරිස්සම් කරනවා කියලා. ඔහු ආරම්භ කර තිබෙනවා කලාශුරී මර්සලින් ජය­කොඩි පියනම පර්යේෂණ හා අධ්‍යයන කේන්ද්‍රය. පියතුමා සතු සියල්ල මම ඔවුන්ට භාර දෙනවා. මට ඕන තවත් කාලයක් පියතුමාගේ නාමය නොමැකී පවතින්නයි.”

ඇය එසේ පවසමින් අපට පියතුමා පරිහරණය කළ දෑ පෙන්වයි. ඇතැම් පොත පත කෑලි හැලී ගැලවෙන්නට ළඟය.

අනිද්දාට ජයකොඩි පියතුමන් ස්වර්ගස්ථ වී වසර විස්සකි. මේ විසි වසර තුළද තවමත් උන් වහන්සේ විසින් ලියූ ගී අදද අප අතර ජනප්‍රියය.

සරල දිවි පැවැත්මක් ගෙවූ ජයකොඩි පියතුමන්ගේ අගය මෙන්ම එතුමා පිළිබඳ බොහෝ අය සොයන්නට පටන් ගන්නවා ඇත්තේ තවත් කල් ගිය පසුය. එක්දහස් නවසිය අනුපහ වසරේදි ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසින් පියතුමා පිළිබඳ පොතක් ලියා ඇත. ඒ ‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’ යන නමිනි.

කොතරම් උගත්, ජන ප්‍රසාදයට මෙන්ම දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලැබූවද සරල දිවිපෙවතක් ගත කළ පියතුමන් එම කෘතියේ එක් තැනක තමන් වහන්සේ ගැන මෙසේ සඳහන් කර ඇත.

“මගේ ජීවිතය වුණේ අපේ යහපත් ගතිය වැඩි වැඩියෙන් දියුණු කර ගැනීමට මහන්සි ගැනීමයි. යම් යම් ප්‍රතිලාභ අරමුණු කරගෙන සේවය කිරීමට මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මගේ අරමුණ වුණේ තනතුරු නොවෙයි සේවයයි.”

සැබැවින්ම එතුමා මේ රටට කලාවට මහඟු සේවයක් කළේය. දැන් විනිෆ්‍රීඩා ඉල්ලා සිටින්නේද එතුමා නමින් ඇති සියල්ල රැක ගන්නා ලෙසය.

ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප වාසිත පටබැඳිගේ
(සිළුමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top