Mar 12, 2019

දැකලා පුරුදු කෙනා එන්න පරක්කු වුණා - මලිත්

ඔබේ පළමු චිත්‍රපටය දැන් තිරයට ඇවිත්?

‘දැකලා පුරුදු කෙනෙක්’ කියන චිත්‍රපටය මුලින්ම කළේ 2013දි. 2014දී ලෝක මංගල දර්ශනය තිබ්බා. චිත්‍රපටය අරගෙන අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයකටම සහභාගි වුණා. ලංකාවේ සිනමා උළෙලවල් කිහිපයකිනුත් ඇගයීමට ලක්වුණා. මේ වෙලාවේ චිත්‍රපට කර්මාන්තය ඇතුළේ තියෙන ස්වභාවය නිසා චිත්‍රපටය මුදාහරින්න බැරි වුණා. අවුරුදු පහකින් පස්සේ චිත්‍රපටය මුදාහරින්නේ. චිත්‍රපටය තිරගත කරන්න ලැබීම ගැන සතුටින් ඉන්නේ.

මෙහි ඔබ කතා කරන්න උත්සාහ කරන්නේ මොන වගේ කාරණයක් ගැනද?

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ මධ්‍යම පාන්තික නාගරික යුවළක්. ඔවුන්ට අවුරුදු හයක විතර දියණියක් ඉන්නවා. මේ අඹු සැමි යුවළ අතර යම් කිසි නුරුස්සන ස්වභාවයක් තිබෙනවා කියලා චිත්‍රපටයේ ආරම්භයේ ඉඳලම තේරෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නය විසඳන්න නෑදෑයෝ, යාළුවෝ මැදිහත් වෙන්න උත්සාහ කරනවා. අපේ සාමාන්‍ය දෛනික ජීවිතයේ අපිට මුණගැහෙන මිනිස්සු ඒ වගේම අපේ පවුල ඇතුළෙ යම් යම් සම්බන්ධතාවල දුරස්ථභාවයක් තියෙනවා. කතා කරන්න අවශ්‍ය දේවල්වලට ප්‍රතිචාර දක්වන විධි, නොසලකා හැරීම් අපිට කොයි තරම් ජීවිතයේ දැනෙනවාද? ඔය කතාව බූපති මට කිව්වම එය මට දැනුණා. අපි නොදැනුවත්වම මේ කතා කරන දේ අපේ ජීවිත තුළ කොයිතරම් තියෙනවද? චිත්‍රපටයෙන් කියන්නේ අපි නොදන්න දෙයක් හෝ සාමාන්‍ය ජීවිතයේ අත්විඳලා හෝ තේරුම් ගන්න නොහැකි වුණ දෙයක් තේරුම් ගන්න අවස්ථාව හදලා දෙන එක. නොදැනුවත්වම අපෙන් වෙන හෝ අපේ සම්න්ධතාවල තිබෙන ගැටලු දකින්න හෝ කතා කරන්න පුළුවන් ස්වභාවයක් මේ හරහා ගොඩනඟන්න පුළුවන් වෙයි.

පවුල් සංස්ථාව තුළ තිබෙන යම් මානුෂීය කාරණාවන් තමයි මේ නිර්මාණය හරහා එළියට ගන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ වගේ තේමාවක් පළමු චිත්‍රපටයට තෝරා ගන්නත් විශේෂ හේතුවක් තිබුණද?

මීට කලින් මමයි බූපතියි උත්සාහ කළා චිත්‍රපටයක් කරන්න. අවුරුදු තුන හතරක් එයට මහන්සිත් වුණා. නමුත් එයට අවශ්‍ය ආර්ථික පසුබිම සකස් කරගන්න බැරි වුණ නිසා අපි ඒක ටිකක් නැවැත්තුවා. අපිට හොයාගන්න පුළුවන් වුණ මුදලකට තමයි ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටය කරන්න පටන් ගත්තේ. අපි සිනමාව දකින විදිහක් තියෙනවා. අපි ඒක ඇතුළේ ඉඳගෙන තමයි නිර්මාණය කළේ. අපිට සමාජයේ අහන්න ලැබෙන, මිතුරන්ගේ පවුල්වල අහන්න ලැබුණ ආසන්න සිද්ධි එක්ක තමයි මේ වගේ නිර්මාණයක් කරන්න හිතුවේ. ඕනෑම සම්බන්ධයක් තුළ චිත්‍රපටයේ කතා කරන විදියේ උල්ලංඝනයක් හෝ දෙදරා යෑමක් තියෙන්න පුළුවන්.

චිත්‍රපටය නිර්මාණය කරලා එය තිරගත කරන්න අවුරුදු පහක් බලාගෙන ඉන්න සිදුවීම අධ්‍යක්ෂවරයෙක් විදියට කෙතරම් බලපෑම්කාරි දෙයක්ද?

ඇත්තටම ඒක කිසිම සාධාරණ වටපිටාවක් නැති දෙයක්. උදාහරණයක් විදියට ඒ කාලය ඇතුළත මම ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපට හතරක වැඩ කරලා තියෙනවා. ඒ අධ්‍යක්ෂවරයා ඒ චිත්‍රපට හතරම මුදාහැරලා පස්වැනි චිත්‍රපටයත් රූගත කරලා ඉවරයි. එයත් මේ අවුරුද්දේ මැද භාගයේ එන්න නියමිතයි. එහෙම තත්ත්වයක් තිබිලා අපිට චිත්‍රපටයක් කරලා එකතැනක අවුරුදු පහක් බලාගෙන ඉන්න සිදුවීම ඉතාම නරක තත්ත්වයක්. මේක මට විතරක් තිබ්බ දෙයක් නෙවෙයි. සත්‍යජිත් මාඉටිපේට තිබ්බ දෙයක්. තිසර ඉඹුලාන, මාලක දේවප්‍රිය ඇතුළු ගොඩක් චිත්‍රපටකරුවන්ට තියෙන ප්‍රශ්නයක් මේක. කර්මාන්තයේ තිබෙන න්‍යාමනයක් නැතිකම නිසා තියෙන නරක තත්ත්වයක් මේක.

මේ තත්ත්වය ගැන දුකක් තියෙනවා. මොකද මේ චිත්‍රපටය කලින් තිරගත කරන්න ලැබුණා නම් මට තව චිත්‍රපටයක් කරන්න තිබ්බා.

ඔබ පිළුණු නොවන මාතෘකාවක් තෝරාගෙන තිබෙන නිසා ලොකු ගැටලුවක් මතු නොවෙනවා ඇති?

චිත්‍රපටය කරපු කාලෙත් එක්ක බලද්දි සමාජයේ යම් යම් වෙනස්කම් සිදුවෙලා තියෙනවා. අපි කතා කරපු තත්ත්වයන්වල යම් යම් වෙනස්කමක් තියෙනවා. ලොකු පරණ ගතියක් නොදැනෙන නිසා චිත්‍රපටය රසවිඳින්න ලොකු බාධාවක් නැහැ.

Malithh1 670px 19 03 12වසර පහකට පස්සේ චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලැබුණත් එය බෙදාහරින්න ලැබිලා තියෙන්නෙත් සීමිත අවස්ථාවක්?

ඔව්. දැනට අපිට ලැබිල තියෙන්නේ දවසකට එක දර්ශන වාරයයි. මේ චිත්‍රපටයට ප්‍රධාන මුදාහැරීමක් ලැබුණා නම් මීට වඩා ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් අතරට ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. අපිට ලැබිලා තියෙන 4.15 දර්ශනය සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් අඩුවෙන් පැමිණෙන කාලයක්. ප්‍රධාන ධාරාව වගේ නෙමෙයි මේ එක දර්ශන වාරයක ලැබෙන ප්‍රතිචාරය. සති දෙක තුනකට තමයි මුලින්ම චිත්‍රපටය දාන්නේ. චිත්‍රපටය බලන්න

ප්‍රේක්ෂකයෝ ඇදිලා එන කාලය වෙද්දි චිත්‍රපටය ගලවන්න වෙනවා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. එය ජාතික චිත්‍රපට සංස්ථාව විසින් විසදිය යුතු දෙයක්.

සීමිත දර්ශන වාරයකදී චිත්‍රපටය තිරගත නොකර ප්‍රධාන ධාරාවේ චිත්‍රපටය තිරගත කරන්න චිත්‍රපට සංස්ථාව සමඟ සාකච්ඡා කළාද?

සාකච්ඡා ගොඩක් කළා. චිත්‍රපටයක් මුදා හරින්න භාරගන්නේ මණ්ඩලයක්නේ. ඒ මණ්ඩලවල තිබෙන වෙළෙඳ තර්කන උඩ තමයි චිත්‍රපටයක් එළියට දාන්නේ. ඔවුන්ට තක්සේරුවක් තියෙනවා මේ චිත්‍රපටය මුදාහරින්නේ මෙහෙම කියලා. එය ඔවුන් හිතන්නේ ඔවුන්ගේ වෙළෙඳ න්‍යායන්ට අනුව. චිත්‍රපටයේ හොඳ නරක හෝ චිත්‍රපටය දුවනවද කියන කාරණය එයින් තීරණය වෙන්නේ නැහැ. තරගකාරී වෙළෙඳපොළ ඇතුළේ ඒක හැමෝටම ගැටලුවක්. යම් සාධාරණත්වයකින් යුතුව අවස්ථාවක් ලැබෙන්න ඕනේ කියලා මම අනිවාර්යයෙන් හිතනවා. මම අවුරුදු තුනක් විතර උත්සාහ කළා අපේ චිත්‍රපටය සීමිත මුදාහැරීමක් නොකර ප්‍රධාන මුදාහැරීමක් කරගන්න. එය එසේ හම්බවෙන්නේ නැහැ කියලා ඔවුන් අවධාරණයෙන් කිව්වා. මේ අවස්ථාව තියෙනවා කැමැති නම් ගන්න කිව්ව නිසා මම තව බලන් ඉන්නේ නැතුව මේ සීමිත අවස්ථාව හරි ගත්තා. මොකද චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට අරන් යන්න ඕන කාරණාව තිබ්බා. මට වැදගත් මේ චිත්‍රපටය පෙන්නලා ප්‍රේක්ෂකයන් සමඟ ඇති කරගන්න කතා බහ.

චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න කාලයක් ගත වුණාට සම්මානනීය ඇගැයුම්වලින් චිත්‍රපටය මේ වෙනකොටත් වටිනාකමක් ගොඩනඟාගෙන තියෙනවා. ඒ ගැන සතුටු ඇති?

සම්මානයක් ලැබුණාම සතුටක් තියෙනවා. අපේ චිත්‍රපටයට දේශීය වශයෙන් සම්මාන තුනක් ලැබුණා. අන්තර්ජාතික සිනමා උළෙල තුනකට සහභාගි වුණා. එතැනින් 2014 මොන්ටි්‍රයල් ලෝක සිනමා උළෙලේ රන් මුදුණ සම්මානයට අපේ චිත්‍රපටය නිර්දේශ වුණා. 2014 ලන්ඩන් සිනමා උළෙලෙට අපි සහභාගි වුණා. 2015දී ජෝග්ජා නෙට්පැක් සම්මාන උළෙලේදී රන් හනුමා සම්මානයට අපේ චිත්‍රපටය නිර්දේශ වුණා. යාපනයේ පළමු අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ප්‍රථම චිත්‍රපටයට හමුවන ජූරි සම්මානය අපේ චිත්‍රපටයට ලැබුණා. 2016 දෙරණ සිනමා උළෙලේදී මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මට ලැබුණා. 2018දී සරසවි සිනමා සම්මාන උළෙලේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය අපිට ලැබුණා. සම්මාන ලැබුණාට වඩා අපේ සතුට තියෙන්නේ මේ චිත්‍රපටය පුළුවන් තරම් පිරිසකට පෙන්නලා ඒ ඔස්සේ අපිට ඇති කරගන්න පුළුවන් සාකච්ඡාව. ඒක තමයි අපිට ලැබෙන ලොකුම සම්මානය.

චිත්‍රපටය තුළ යම් ලිංගික දර්ශනයක් තිබෙනවා. ඒ කාරණාව නිසත් ප්‍රේක්ෂකාගාරය සීමිත වෙන එක ගැටලුවක් නෙමෙයිද?

චිත්‍රපටය ලියද්දිම අපිට හිතෙනවා ඒ ලිංගික දර්ශනය අපට අනිවාර්යයෙන්ම ගැටලුවක් වෙනවා කියලා. ගොඩක් අය අපිට යෝජනා කළා මේ දර්ශනය චිත්‍රපටයෙන් අයින් කරන්න කියලා. බූපති සහ මම ඉතාම දැඩි මතයක හිටියා එය චිත්‍රපටයෙන් කිසිසේත්ම ඉවත් කරන්නේ නෑ කියලා. මොකද ඒ දර්ශනය චිත්‍රපටයට ආභරණයක් නෙමෙයි. චිත්‍රපටයේ කතාවේ තියෙන එක සංධිස්ථානයක් ඒක. ලිංගික සම්බන්ධයේ ස්වරූපයේ එක මානයක් ඒක. අපේ රටේ මිනිස්සු ඒ වගේ දෙයක් විවෘතව කතා කරන්නත් හරි බයයිනේ. ඒ දර්ශනය යම් කෙනෙකුට බාධාවක් වෙනවා නම් මම ඒක තකන්නේ නෑ. ප්‍රේක්ෂකාගාරය මත අපි තීරණය කරන්නේ නැහැ දර්ශනය අයින් කරනවද නැද්ද කියන කාරණය. කතාවට ඒ දර්ශනය අවශ්‍යයි කියන දේ අපි හිතුවා. අපි අභියෝගයක් ගත්තා නිෂ්පාදකවරු දෙතුන් දෙනෙකුත් කිව්වා මේ දර්ශනය ඉවත් කරන්න කියලා. මුදාහැරීමේ මණ්ඩලයෙනුත් එහෙම අදහසක් ආවා. චිත්‍රපටය එන්න පරක්කු වෙන්නත් යම් හේතුවක් වෙන්න ඇති ඒ දර්ශනය. නමුත් එය එහෙමම තියලා තමයි චිත්‍රපටය මුදාහැරියෙත්.

සම්මානනීය ඇගයුම් පවා හමුවන මේ වගේ නිර්මාණයකට කෙනෙහිලිකම් වෙද්දි නිර්මාණකරණය අතහැරලා ආපස්සට හැරෙන්න හිතිලා නැද්ද?

එහෙම හිතුණ අවස්ථා ඕන තරම් තියෙනවා. මේ අවස්ථාවෙත් තිබෙන ගැටලුත් එක්කත් එහෙම හිතෙනවා. නමුත් කර්මාන්තයේ තියෙන ගැටලු ගැන දැනගෙන අපි මේ ක්ෂේත්‍රයට බැස්සේ. මම පොඩි කාලේ චිත්‍රපට බලලා මගේ අදහස් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් විදියට සිනමාව තමයි මට ගොඩක් සමීප වුණේ. කොච්චර එපා වුණත් පෙම්වතියක් වගේ සිනමාව ළඟට මම යනවා. ඕන ක්ෂේත්‍රයක ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවා විසඳන්න

වැඩපිළිවෙළක් යෙදෙනවනේ. ඒත් මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙළක් පේන තෙක් මානයක නැහැ. මේක හදන්න කාලයක් යයි. ඒක ඉවසන්න පුළුවන් පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවා නම්. ඒක නැති එක තමයි ඛේදවාචකය.

බොහෝ අය විකුණන්න බලාගෙනම මුදල් හොයන්නම පරමාර්ථය තියාගෙන චිත්‍රපට කරනවා. ඔබට මේ චිත්‍රපටය ඇතුළෙත් ඒ වගේ පරමාර්ථයක් තිබුණද?

චිත්‍රපටයක් කියන්නේ ලොකු ප්‍රාග්ධනයක් වැය කරලා කරන දෙයක්. ඒ නිසා ඒ වැය කරපු මුදල් ආපහු හොයාගන්නවා කියන එක වැදගත්. මම චිත්‍රපටයක් කරන එකේ අරමුණ වුණේ ඒක විතරක් නෙමෙයි. අපිට නොතේරෙන දෙයක් කතා කරන්න උත්සාහ කිරීමක් චිත්‍රපටය හරහා කරන්න ඕන වුණා. අපිට සාමාන්‍ය ජීවිතයේ මඟහැරෙන දේවල් බොහෝ අධ්‍යක්ෂවරු ඉතාම දක්ෂ විදියට සිනමාවට නඟලා තියෙනවා. අපිට සමීප සමහර දේවල් අපි වැඩිපුර හිතලා නැහැ. ඉතිං ඒ වගේ දෙයක් කතා කරන්න අපිට ඕන වුණේ.

කොහොම වුණත් අපිට යම් යම් ගැටලු එන්න පුළුවන් මූල්‍යමය පරමාර්ථය සාක්ෂාත් කරගන්න. මේක වාණිජමය චිත්‍රපටයක් නෙමෙයි. මේකට තියෙන ප්‍රේක්ෂකාගාරයත් සීමා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම චිත්‍රපටයේ මුදා හැරීමේ ගැටලු නිසාත් යම් යම් සීමාකම් ඇති වෙන්න පුළුවන්. චිත්‍රපටය මිනිසුන්ට පෙන්නලා මේ කතා කරන දේ ගැන මිනිසුන්ව හිතන්න පොලඹවන එක තමයි බූපතිටයි මටයි දෙන්නටම ඕන වුණේ. චිත්‍රපටයක් බලලා හිතන්න පොලඹවන එකට තමයි මම කැමැති. නමුත් මේක ලොකු ප්‍රාග්ධනයක් එක්ක කරන සෙල්ලමක්. අපිට ආයෙත් චිත්‍රපටයක් කරන්න ආසයි. ඊට කලින් මේ චිත්‍රපටය යම් මුදලක් කවර් කරලා තියෙන්න ඕන.

චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහෙමද?

ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. මිශ්‍ර ප්‍රතිචාරත් ලැබෙනවා. තවත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනකල් බලාගෙන ඉන්නවා.

මේ නිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බිමල් සහ සමාධි. ඔබ බලාපොරොත්තු වුණු රංගන දායකත්වය ඔවුන්ගෙන් ලබාගන්න පුළුවන් වුණාද?

ඔවුන් දෙදෙනාම ඉතාම විශාල කැප කිරීමක් කළා. චිත්‍රපටය රූගත කරන්න අපිට දවස් විස්සක් විතර ගියා. නමුත් ඒ දවස් විස්සට අමතරව ඔවුන් පෙර පුහුණුවීම් මාසයක් විතර කළා. එතැනදී ඔවුන් මුදල් නොතකා පුදුම කැප කිරීමක් කළා. ඔවුන් මාස එකහමාරක් විතර ඔවුන්ගේ කාලය මේ නිර්මාණය වෙනුවෙන් වැය කළා. ඒ වෙනුවෙන් ඔවුන් ගැන විශාල ගෞරවයක් තියෙනවා. අඩු පිරිවැයකින් මේ නිර්මාණය කරද්දී අපිට ලොකු ශ්‍රමයක් අවශ්‍ය වුණා. ඒ ශ්‍රමය රංගන ශිල්පීන් තාක්ෂණික ශිල්පීන් ඇතුළු පිරිසගෙන් අපිට ලැබුණා.

බූපති එක්ක සිනමා නිර්මාණකරණයට අතගහන්න විශේෂ හේතුවක් තියෙනවද?

අපි දෙන්නාගේ යාළුකම අවුරුදු විස්සක් විතර වෙනවා. අපි ඒ කාලේ ඉඳන් චිත්‍රපට ගැන කතා කරනවා. අපි දෙන්නා මේ වෙනකොට ක්‍ෂේත්‍ර දෙකක වැඩ කරන්නේ. නමුත් අපි දෙන්නගෙම වෙනස් නොවන සිනමාව ගැන ඇල්මක් තියෙනවා. ඒක අපිට පොදුයි. මම හිතන්නේ සිනමාව ඇතුළේ මලිත් කෙනෙක් නැහැ බූපති නැත්නම්.

චිත්‍රපටයේ කිසිම දර්ශනයක් නොකපා ප්‍රදර්ශනය කරන්න ලැබීම වටිනවා දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ තිරරචනය කරන්නේ බුපති නලින් වික්‍රමගේ. මලිත් හෑගොඩ එක්ක එකතු වෙලා කළ නිර්මාණය ගැන ඔහුත් යමක් එකතු කළා.

“මම මලිත්ව දන්නේ පොඩි කාලේ ඉඳන්. අපි පාසලේ මිත්‍රයෝ. මලිත්ගේ තාත්තා ලාල් හෑගොඩ. මගේ ගුරුවරයෙක්. මලිත්ටයි මටයි සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබ්බා. අපි ලංකාවේ තියෙන විවිධ විදෙස් චිත්‍රපට උළෙල නරඹන්න යනවා. අපි ඒවා ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම අපි දෙන්නම විවිධ පාඨමාලාවන්වලටත් එකට සහභාගි වෙලා තියෙනවා. තිස්ස අබේසේකරයන් කළ පාඨමාලාවටත් අපි සම්බන්ධ වුණා. ඔය පසුබිම යටතේ ඉන්නකොට මම තිර රචනා ලියන්න කැමැත්තක් දැක්වූවා. මම ලියපු මුල්ම තිර පිටපත අධ්‍යක්ෂණය කරන්න මලිත් සූදානමින් හිටියා.

මලිත්ට තිබ්බේ අධ්‍යක්ෂණයට කැමැත්තක්. මගේ මුල්ම තිර රචනය නිෂ්පාදනය කරන්න කෙනෙක් හොයන්න අපි අවුරුදු තුනක් මහන්සි වුණා. නමුත් අපිට නිෂ්පාදකවරයෙක් ලැබුණේ නෑ. ඒ නිර්මාණයට යන වියදම වැඩි නිසා ඒක පැත්තකින් තියන්න වුණා. ටිකක් අඩු පිරිවැයක් යන නිර්මාණයක් ලියන්න කියලා මලිත් මට කිව්වා. දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ කතාව මගේ ඔළුවේ කාලයක් තිබ්බ අදහසක්. ඒ අදහස චිත්‍රපටයකට ගොඩනඟන්න පුළුවන් කියලා හිතුවා. 2012 ඉඳන් මම ඒ කතාවේ කෙටි සටහන් ලියමින් හිටියා. මගේ මිත්‍රයෝ ඒ කාලේ වෙද්දී විවාහ වෙලා තිබ්බා. ඔවුන්ගේ ජීවිතවල මම අහලා තිබ්බ දේවල් තිබ්බා. ඒ වගේම මගේ පෞද්ගලික ප්‍රේම කතාවල අත්දැකීම් තිබ්බා. ඒවා එකතු කරගෙන තමයි මේ නිර්මාණය ලිව්වේ.

විවාහක යුවළකගේ විශ්වාසය බිඳවැටීම සහ ඊට පසුව එකට ජීවත්වීමේදී ඇතිවන අර්බුද ගැන තමයි මේ චිත්‍රපටයේ කතා කරන්නේ. මම මේ කතාව කෙටි සටහන් කරලා තිබ්බ නිසා මාසයකින් වගේ මේ චිත්‍රපටයේ තිර රචනය ලියලා ඉවර කරන්න පුළුවන් වුණා. 2013දී අපි චිත්‍රපටය රූගත කර අවසන් කළා. මේ වසරේ තමයි එය තිරගත කරන්න ලැබුණේ. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි අංශය යටතේ තමයි තිරගත කරන්න අවස්ථාව ලැබුණේ. චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් සංස්කරණය නොකර තිරගත කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන සතුටුයි. චිත්‍රපටය බලලා ඒ ගැන ප්‍රේක්ෂකයෝ කතා කරනවට අපි කැමැතියි. මගේ මුල්ම පිටපතත් කවදාහරි දවසක නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම මේ වෙනකොටත් තව තිර රචනා 2ක් ලියමින් යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top