Apr 29, 2019

රූපවාහිනියේ සන්නිවේදන සංස්කෘතිය විශ්ලේෂණයට

හෙතෙම අලුත් දේ‌ සොයා යන ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකි. චිත්‍රපට ක්‍ෂේත්‍රයේත් ‘ලියනළු’ (ගම්පෙරළිය, දඩබිම, රුපියල් සත, භාවනා, කඩවර, ඉසුරුගිර හා අමරපුරය) ක්‍ෂේත්‍රයේත් හා සාහිත්‍ය ක්ෂේත්‍රයෙත් විවිධ කඩඉම් සලකුණු කොට ඇති ඔහු විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර වූ වෙකි. ස්‌වකීය කලා විඥානය විවිධ ඉසව්හි විහිදුවා සමාජයට වඩාත් ගැළපෙන දේ සොයා ගවේෂණාත්මක පර්යේෂණයන්හි නිරතව අපූර්ව අර්ථපූර්ණ කලා නිර්මාණ අප වෙත තිළිණ කරන මේ කලාකරුවා අනෙකකු නොව බර්ට්‍රම් නිහාල් ය. රූපවාහිනී නිර්මාණ කාර්යය තුළ සීමා නොවී අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ අපගේ ඥාන මීමංසාව පුළුල් කිරීමට ශාස්ත්‍රීය දායකත්වය ලබාදෙන ඔහු විසින් රචනා කළ ‘ශ්‍රී ලංකාවේ රූපවාහිනිය - දෘශ්‍ය සංඥර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනය’ නමැති පර්යේෂණ කෘතිය රූපවාහිනි ක්ෂේත්‍රය පිළිබඳ ව නවමු කතිකාවකට මුල පුරයි. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සංලාපයකි.

රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මෙවැනි පර්යේෂණ කෘතියක් කිරීමේ අරමුණ කුමක්ද?

‘ශ්‍රී ලංකාවේ රූපවාහිනිය - දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනය’ කියන මේ කෘතියෙහි කේන්ද්‍රිය ප්‍රත්‍යය (Central Effect) වෙන්නේ; රූපවාහිනී මාධ්‍ය හා ආශ්‍රිත සන්නිවේදන සංස්කෘතික ක්‍රියාවලි විශ්ලේෂණයට බඳුන් කිරීමයි. එහි දී මේ පිළිබඳව මධ්‍යස්ථ ලෙස හැදෑරීමෙන් ශ්‍රී ලංකාවේ රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා නව ප්‍රවේශයන් අත්පත් කරගත යුතුය යන්න විචාරාත්මක ලෙස විශ්ලේෂණයකට භාජනය කිරීම මෙහි අරමුණ වුණා. කෙනකුට මෙහි සමාජීය මනෝවිද්‍යාව කෙරෙහි අති නවීන ප්‍රවේශ ලබාදීම තුළින්, ශික්ෂණයන්හි විවිධත්වයක් හරහා සමාජීය හා සංස්කෘතික න්‍යායන්හි වඩා සවිස්තර වූ සංකලනයක්, කාලානුරූප කරගැනීම පිළිබඳ ව මෙහි මතුකරන කාරණා සම්බන්ධයෙන් පුළුල් ලෙස සංවාදයට කළ හැකියි.

මේ කෘතියෙන් මෙතෙක් රූපවාහිනි ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු නොවූ කරුණු පවා සාකච්ඡාවට බඳුන් කර තිබෙනවා ...

ඔව්, රූපවාහිනි මාධ්‍ය සහ දෛනික ජීවිතය අතර, සහසම්බන්ධතාව පිළිබඳ ප්‍රශ්නය පැතිකඩ කිහිපයක් ඔස්සේ විමර්ශනය කිරීමට මෙහි දී මා උත්සාහ දරා තිබෙනවා. ප්‍රථමයෙන් මාධ්‍ය අධ්‍යයන හා බැඳුණු අනෙකුත් ශික්ෂණ අතර සහසම්බන්ධතාවෙහි සිදුවී ඇති ඓතිහාසික විපර්යාසයන් පිළිබඳ ව පරීක්ෂාකර බැලෙනවා. දෙවනුව, රූපවාහිනි මාධ්‍යය සහ දෛනික ජීවිතය අතර සම්බන්ධතාව තේරුම් ගැනීම සඳහා වූ විවිධ ප්‍රවේශ සන්නිදර්ශනය (Illustrate) කිරීම සඳහා රූපවාහිනියෙන් සහ එ් වියමන මඟින් සංහතික ජනතාවට ඇති වූ බලපෑම නොහොත් ‘ඝට්ටනය’ (Impact) පිළිබඳව පුළුල් පර්යේෂණ වපසරියක් වරණීය ලෙස සමාලෝචනය කරනවා. එමඟින් කිසියම් වූ සෛද්ධාන්තික පසුබිමක් පිළිබඳ ව අවබෝධ කරගැනීමේ වැදගත්කම අනාවරණය කිරිමට උත්සාහ ගෙන තිබෙනවා.

තොරතුරු යුගයක රූපවාහිනියේ හැසිරීම කවරාකාර ද, ප්‍රේක්ෂකයා සහ රූපවාහිනිය අතර සහසම්බන්ධතාව කෙබඳු ද යන්න ඔබ මේ තුළ කිසියම් විග්‍රහයක යෙදෙනවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?

තොරතුරු යුගය (Information Age) තුළ අප විසින් මුහුණ දෙන මූලික ම ප්‍රශ්නය වෙන්නේ නිරන්තර ව වර්ධනය වෙමින් සංකීර්ණ වන්නා වූ සංසිද්ධි පිළිබඳ ප්‍රතිවිරුද්ධ අදහස් වගේම පාඨාන්තරයන්ගෙන් හෙබි අතිරික්ත හා වැඩිමනත් තොරතුරු සම්භාරයක් දරන්නා වූ ජනතාවයි. මෙහි දී ජනතාව විසින් අවබෝධ කරගැනීමේ කාර්යය ඉවතලෑමට පෙලඹෙන අතර, තොරතුරු අතිරික්තයක් නොහොත් අධිභාරයක් (Overload) හේතුවෙන්, ඒ තුළ නියුක්තවීමක් හෝ ඒ හා සම්බන්ධවීමකට (Involvement) වඩා අක්‍රියභාවයක් (Passiveness) කෙරෙහි ජනතාව යොමු කෙරෙන ආකාරයක් ප්‍රත්‍යක්ෂ වෙනවා. දෙවැනි ගැටලුව වෙන්නේ රූපවාහිනිය මගින් අක්‍රිය වූ සහ යල්පීනු අත්දැකීම් සඳහා සක්‍රිය (Active) හා ප්‍රත්‍යක්ෂ අත්දැකීම් හුවමාරු කරගැනීමට අපව පෙලඹවීමයි. එනම්, අප සතු අත්දැකීම් අතරට අන් අයකු තමන් සතු යථාර්ථය පිළිබඳ සංජානනය (Perception) මගින් මැදිහත් වීමයි. රූපවාහිනිය වැඩි වශයෙන් නරඹන ප්‍රේක්ෂකයන්, රූපවාහිනිය මඟින් නිර්මාණය වන්නා වූ සමාජීය යථාර්ථයට අනුව ලෝකය දැකීමට වැඩි කැමැත්තක් දක්වන්නවුන් බැව් තහවුරු වෙනවා. ඒ නිසාම රූපවාහිනිය අවබෝධ කරගැනීම සහ දෛනික ජීවිතය අවබෝධ කරගැනීම අතර, වෙන් කිරීමක් සිදු කළ නොහැකි බව පදනම් කර ගනිමින් පමණක් මේ පර්යේෂණ කාර්යයේ දී තර්ක ගොඩනඟා නැහැ. ප්‍රේක්ෂක අර්ථ නිරූපණ හෝ ඥනාත්මක ක්‍රියාකාරීත්වය (Cognitive Activity) පිළිබඳ ගැටලු හා වියමන සහ ෙප්‍ර්ක්්ෂකයා අතර සහසම්බන්ධතාව මෙහි දී වැඩිදුරටත් ගවේෂණයට භාජනය කෙරෙනවා.

ජනමාධ්‍ය සංස්කෘතිය තුළ රූපවාහිනියේ ආධිපත්‍යය නැතිනම් එහි මතවාද ස්ථාපිත වන්නේ කෙසේද?

ගුවන් විදුලිය, රූපවාහිනිය, චිත්‍රපට හා අනෙකුත් මාධ්‍ය සංස්කෘතික නිපැයුම් මඟින් අප වෙත විවිධ තොරතුරු ලබාදීම සිදු කෙරෙනවා. මේ තොරතුරු මඟින් අපගේ ම අනන්‍යතාව, අපගේ ස්වාත්ම්‍යය (Selfhood) පිළිබඳ හැගීම්, ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අප තුළ පවතින සංකල්පනය, පන්තිභේදය පිළිබඳ ව හා ජනවාර්ගිකත්වය, ජාතිය, ජාතිකත්වය හා ලිංගිකත්වය මෙන්ම ‘අප’ හා ‘ඔවුන්’ යනුවෙන් අප තුළ ඇතිවන සංකල්පනයන් හැඩතල ගැන්වීමක් සිදු කෙරෙනවා. එමෙන්ම ලෝකය පිළිබඳ ව හා අපගේ අත්‍යන්ත අගයන් සම්බන්ධයෙන් ද අපගේ දැක්ම (Vision) හැඩගැස්වීම සඳහා රූපවාහිනි මාධ්‍ය ප්‍රතිරූප අපහට උපකාරි වෙනවා. එනම්, හොඳ හෝ නරක මෙන්ම ධනාත්මක හා සෘණාත්මක බව ද, සදාචාරය (Moral) හෝ අනර්ථය (Evil) යන්නද හැඩගැස්වීමයි. රූපවාහිනි ආඛ්‍යාන වෘත්තාන්ත මඟින් සංකේත, මිථ්‍යා කතා, සම්පත් හා උපාය අප වෙත ලබාදෙන අතර, එමඟින් පොදු සංස්කෘතියක් සංස්ථාපිත කිරීමටත්, මේ සංස්කෘතිය ට ප්‍රවේශවීමටත් අප හට නියාමන ලබා දෙනවා.

එලිහු කැට්ස් (Elihu Katz) සමාජ විද්‍යාඥයා, ජනසන්නිවේදන පර්යේෂණ, ප්‍රබල මාධ්‍ය හා ප්‍රබල පේ‍්‍රක්ෂකයන්ගේ සංකල්පනයන් අතර වූ දෝලනයන්ගේ (Oscillations) ඉතිහාසයක් ලෙස විස්තර කර තියෙනවා. සාම්ප්‍රදායික වශයෙන්, වියමනක ගුණාත්මක විශ්ලේෂණය ආකෘතිවාදී සාහිත්‍යමය විචාරයෙහි (Formalist Literary Criticism) කාර්යභාරයක් ව පැවැතුණ අතර, එමඟින් පහදා දෙනු ලැබුවේ, චිත්තෝත්පාදක සාහිත්‍ය වියමනයන්ගේ (Imaginative Literature Texts) ආකෘතික ලක්ෂණ කෙරෙහි යොමුවෙමින් සංස්කෘතික මෙවලම්වල මූලික අර්ථ, අගයයන්, සංකේත හා මතවාද විශ්ලේෂණය කිරීම පිළිබඳවයි. මේ ආකෘතික ලක්ෂණ වන්නේ විලාශය නොහොත් ශෛලීය, වාචික සහ රූප සංඥාව (Verbal Imagery), චරිතායනය (Characterization), වෘත්තාන්ත ව්‍යූහය, (Narrative Structure) දෘෂ්ටි කෝණය (Point of View) සහ මානව කෘතියෙහි අනෙකුත් විධිමත් මූල ආදියයි.

ඔබගේ පර්යේෂණයට පාදක වූ ශාස්ත්‍රීය විශ්ලේෂණ, රූපවාහිනි විචාරයට අනුගත කරගත්තේ කෙසේද?

නවසිය හැටේ වර්ෂයේ සිට ඉදිරියට, සාහිත්‍යමය ආකෘතික වියමන විශ්ලේෂණය (Literary–formalist Textual Analysis), ලක්ෂණ මීමංසාව නොහොත් සංඥාර්ථවේදය ඔස්සේ ඇති වූ ක්‍රමවේද මඟින් වර්ධනය වෙලා තියෙනවා. මෙය චිත්‍රපට හා රූපවාහිනියෙහි පවතින දෘශ්‍යමය හා ශ්‍රව්‍ය භාෂා වැනි අවාචික (Non-Verbal) කේතයන් (Codes) මෙන්ම අර්ථයන්ගේ නිර්මාණය පිළිබඳ ව විමර්ශනය කිරීමේ පද්ධතියක් ද වෙනවා.

ඒ වගේම සංඥාර්ථවේදය, භාෂාමය (Linguistic) හා භාෂාමය නොවන සංඥ මඟින් අර්ථ පද්ධතියක් ගොඩනඟන්නා වූ අන්දම විශ්ලේෂණය කෙරෙන සෛද්ධාන්තිකරණයක්. සංඥර්ථවේ දී විශ්ලේෂණය, ශෛලීය විචාරය (Genre Criticism) හා සම්බන්ධ කරගත හැකි, රූපවාහිනි ‘ලියනළු’ හෙවත් සෝප් ඔපෙරා (Soap Opera) වැනි රූපවාහිනි මාධ්‍යයේ සම්මත සංස්කෘතික විධි (Forms) පාලනය කරන්නාවූ සම්ප්‍රදායයන් පිළිබඳ ව ද අධ්‍යයනය කෙරෙනවා. එ් අනුව කිසියම් ශෛලියක කේත හා විධි මඟින් යම්කිසි අර්ථයක් ලබාදෙන්නේ කෙසේද යන්නත් අනාවරණය කෙරෙනවා. උදාහරණයක් ලෙස, සන්නිවේශ හාස්‍යෝත්පාදක (Situation Comedies) නාට්‍ය මඟින් අතිනාටකීය (Melodramatic) ලෙස සමාජ සංසිද්ධින් පුරෝකථනය කිරීමේ ආකෘතියක් අනුගමනය කෙරෙන අතර, මේ ආකෘති මඟින් කිසියම් සාමාජීය ගැටලුවක් නිවැරදි ක්‍රියාමාර්ග හා අගය භාවිතයෙන් විසඳාගන්නා ආකාරය සනිටුහන් කෙරෙනවා. එමෙන්ම, එමඟින් නිසි හා අනිසි හැසිරීම පිළිබඳ සදාචාර ප්‍රබන්ධ ද සැපයෙනු ලබනවා. ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් ‘ලියනළු’ (Soap Opera) මඟින් ප්‍රමාණාත්මක වශයෙන් ගැටලුවල වර්ධනයක් ඇති කෙරෙන අතර, ජීවිතයේ අවිච්ඡින්න (Endless) වූ දුක්ඛිතභාවය (Misery) තුරන් කිරීම සඳහා අවශ්‍ය වන ඉවසීම හා වේදනාව පිළිබඳ පණිවිඩ අතිනාටකීය ආකාරයෙන් ගෙනහැර පානවා. එමඟින්, සමාජීය හැසිරීම පිළිබඳ ධනාත්මක හා සෘණාත්මක ආකෘති ජනනය කිරීම ද සිදු කෙරෙනවා.

රූපවාහිනි ආධිපත්‍ය මඟින් අපගේ අත්දැකීම් සහ දැනුම සීමා කිරීමකට ලක් වෙනවා නේද?

අන් කිසිවකුගේ ආධිපත්‍යය නොහොත් අධිකාරිත්වය (Authority) පිළිගැනීමට රූපවාහිනිය මඟින් අප වෙත නියම කෙරෙනවා. එලෙසින්ම ස්වභාවධර්මය පිළිබඳ සෘජු දැනීමක් අත්කර ගැනීම කෘත්‍රිම පරිසරයන් මඟින් අප වෙත අහිමි කරනවා. රූපවාහිනිය නිසා අපගේ දැනුම, නිර්මාණය වූ පරිසරයක් දක්වා සීමාවන අතර, ඒ හේතුවෙන් අදාළ පරිසරයෙහි ‘නිර්මාතෘවරයා’ විසින් අප වෙත ප්‍රකාශ කෙරෙන දේ මඟින් අප අවට ලෝකය පිළිබඳ අප දැනුවත් වෙනවා. නිර්මාණශීලි ක්‍රියාවලිය පාලනය කෙරෙනුයේ කවුරුන් විසින් වුවද ඔහු විසින් අනෙකුත් සියලුදෙනා සඳහා යථාර්ථය අර්ථ නිරූපණය කෙරෙනවා. මෙහිදි අප කිසියම් නිර්මාතෘවරයකුගේ අණසකට යටත්වන අතර, අප කෙරෙහි ඔහු විසින් යොදනු ලබන බලයෙහි පදනම වනුයේ, අපගේ අත්දැකීම් පිළිබඳ සීමාකරණයයි (Confinement of Our Experience).

රූපවාහිනිය හේතුකොටගෙන නාළිකා හිමිකරුවන්, තාක්ෂණ විශේෂඥයන් සහ වැඩසටහන් නිෂ්පාදකයන් විසින් අපගේ දැනුම පිළිබඳ භුක්තිය පැහැර ගනු ලබන අතර, ඒ දැනුමෙහි අන්තර්ගතය හා එය අප වෙත රැගෙන එන්නා වූ, මාධ්‍යය පාලනය කිරීමෙන්, එය ඔවුන් සතු සීමිත විෂය පථය සන්නිවේදනය කරලීමෙහිලා බලපෑමට ලක්කරන ආකාරය තහවුරු කරනවා. මේ හේතුකොටගෙන රූපවාහිනිය මාධ්‍ය හසුරුවන බලධරයන් ගේ මතවාද සනාථ කරමින් අප සතු අත්දැකීම් අත්හැර දැමීමට රූපවාහිනිය විසින් අප හට බල කෙරෙනවා. එනම් අප, රූපවාහිනි තිරය ඉදිරිපිට දී සඵල ආකාරයකින් අගති රහිත බවට පත් කෙරෙනවා. මෙහි දී ප්‍රේක්ෂකයාට විරෝධතා සිදු කිරීමට අවකාශ නොලැබෙන අතර, වාදවිවාද කිරීමක් ද සිදු කළ නොහැකි වෙනවා. මෙයින් හැඟෙන්නෙ සත්‍යය සෙවීම සඳහා කෙරෙන ඕනෑම විමසුමක් සහ ගවේෂණයක් රූපවාහිනී මාධ්‍ය මඟින් කප්පාදු කෙරෙන බවයි.

රූපවාහිනී මාධ්‍ය මගින් එක්තරා විදියකින් සත්‍ය වසන් කිරීමක් සිදු වනවා නේද?

සත්‍යය පිළිබඳව අනාවරණය කිරීම කඩිමුඩියේ සිදු කළ නොහැකියි. කාලය, ඉවසීම හා නිරීක්ෂණ සිදු කිරීම ඒ සඳහා අවශ්‍ය කෙරෙන අංග. රූපවාහිනිය මගින් අනාවරණය (Discovery) හා නොපසුබට භාවය (Perseverance) පිළිබඳ අඩිතාලම පවා පීඩාවට ලක් කෙරෙනවා. රූපවාහිනියෙන් ප්‍රදර්ශනය වන කරුණු සමඟ අන්තර්ක්‍රියාකාරී විතර්කන සිදු කරන්න බෑ. ඒ නිසා සංකථන කපාහරිමින් සත්‍යය පරීක්ෂාවට භාජනය කිරීම වළක්වනවා.

රසික කොටුදුරගේ
(සිළුමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top