Jul 10, 2019

'මම කරන්නේ අවුරුද්දකට 1යි'

කොහොමද ෂෙරිල්?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

අලුත් වැඩ භාර ගත්තද?

මම ඉතින් අවුරුද්දකට එක නිර්මාණයක් වගේනේ කරන්නේ. ඉතින් පසුගිය කාලේ මහේෂ් අයියා ලියපු “බ්ලැක්මේල්” ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ලස්සන ආදර කතාවක්. ඉතින් හරි කැමැත්තෙන් ඒ නිර්මාණයට සම්බන්ධ වුණා. අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් ඒවට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ තාම.

ඇයි ඒ?

මම එක දිගට වැඩවල පේන්න ඉන්න ආසා නැහැ. හොඳ දෙයකට ඉඳලා හිටලා සම්බන්ධ වෙනවා. මටත් සාධාරණයක් වෙන අනෙක් අයටත් සාධාරණයක් වෙන දෙයකට තමයි මම සම්බන්ධ වෙන්නේ.

හැමෝම කැමැති වැඩ ලැබෙනවට. ඒ වගේම නිතරම ප්‍රේක්‍ෂකයන්ට පේන්න ඉන්න. ෂෙරිල්ට එවැනි වුවමනා නෑ වගේ?

මම සාමාන්‍යයෙන් වෙනස්. ප්‍රසිද්ධ වෙන්න ඕන, හැම තිස්සේම පේන්න ඕන කියන වුවමනා මට නැහැ. මම කරන දේ මට හොඳ දෙයක් වෙන්න ඕන. අපි ඕන කෙනෙක්ට වටිනාකමක් තියෙනවනේ. මම අඩුවට වැඩ කරන්නේ නැහැ.

ඒ කියන්නේ මුදල ගැන හිතලමද ෂෙරිල් වැඩ කරන්නේ?

සල්ලි මත්තෙම නැහුණා නම් මම හැම නිර්මාණයකම පේන්න ඉන්න ඕනේ. ඒත් මම එහෙම නැහැ. පිටපත හොඳ නම් මම ඉඳලා හිටලා හරි නිර්මාණයක් කරනවා.

Sherl1 670px 19 07 10ලැබෙන වැඩවලට බෑ කියලා ක්‍ෂේත්‍රයේ අය තරහා කරගෙන නැද්ද?

මාත් එක්ක කවුරුහරි තරහයි කියලා මම හිතන්නේ නැහැ. මට ගැළපෙන්නේ නැතිනම් කෙළින්ම කියනවා. මම පොරොන්දු වෙලා ඒ වැඩේ කළේ නැත්නම් තමයි එයාලා මාත් එක්ක තරහා වෙන්න ඕන. මම එහෙම කරන්න බැරි නම් වැඩ භාරගෙන නැහැ.

තමන්ගේ අගය ආරක්‍ෂා කර ගන්නද ෂෙරිල් මහන්සි වෙන්නේ?

මෙහෙමයි. දැන් ගොඩක් ගැහැනු ළමයි තමන්ගේ අගය ආරක්‍ෂා කර ගන්නවා අඩුයිනේ. සමහරු මේ අවුරුද්දේ වැඩක් කරලා ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ පේන්න නෑ. අපි කරන්නන් වාලේ වැඩ කරලා තේරුමක් නැහැ. මම කරපු චරිතවලින් ප්‍රේක්‍ෂකයන්ට මාව මතකයි. තාමත් මට බොහෝදෙනා කතා කරන්නේ “අමා” කියලා. එතකොට සතුටක් දැනෙනවා. නිර්මාණ පනහක්, සීයක් කරන්න නෙමෙයි කරන නිර්මාණ එකෙන් හෝ දෙකෙන් හරි ප්‍රේක්‍ෂකයන්ට මතකයේ රැඳෙන දෙයක් කරන එකයි වැදගත්.

බොහෝ වෙලාවට පුංචි තිරයේ ෂෙරිල්ගේ පෙම්වතා වෙන්නේ විශ්ව නේද?

ඔව්. එයාව තමයි මට ගොඩක් වෙලාවට එකට රඟපාන්න මුණගැහෙන්නේ. පුංචි තිරයේදී මට ගැලපෙන්නේ විශ්ව වෙන්න ඇති. ඒකනේ එයාවම මට ගොඩක් වෙලාවට එකට රඟපාන්න ලැබෙන්නේ. අපි “අමා” ටෙලි නාට්‍ය රඟපාපු කාලේ ඉඳන් යාළුවෝ. ඉතින් එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා වැඩ කරද්දී.

ෂෙරිල්ට බොහෝ වෙලාවට ලැබෙන්නේ අහිංසක චරිත නේද?

ඇත්තටම මට ලැබෙන්නේ හරිම අහිංසක චරිත. මිනිස්සු ඒ වගේ චරිතවලට කැමැතියි. ප්‍රේක්‍ෂකයෝ අපි කරන දේ එක්ක අපිට ආදරය කරනවා. ෂෙරිල් කිව්වම මාව දන්න ප්‍රමාණයට වඩා “අමා” කියලා මාව දන්න ප්‍රමාණය වැඩියි. ප්‍රේක්‍ෂකයෝ සතුටු කරන්නනේ අපි නිර්මාණ කරන්නේ. මතක හිටින දෙයක් කළොත් ඔවුන් කවදත් ඒ චරිතවලට ආදරය කරයි.

අහිංසක චරිතවලින් පුංචි තිරයේදී මුණගැහෙන ෂෙරිල් සැබෑ ජීවිතේ කොයි වගේ කෙනෙක්ද?

මම වැඩිය කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. ඒ මගේ ආඩම්බරකම නෙවෙයි. ඒ මගේ හැටි. මම සැරයි. කියන්න තියෙන දේ මූණටම කියනවා. මට දෙයක් හිතේ තියාගෙන ඉන්න බැහැ. හිතේ තියෙන දේ කෙළින් කිව්වම මට මාර නිදහස් හැඟීමක් තියෙන්නේ. මම කැමැතියි ඕනම දෙයක් කෙළින් කතා කරනවට.

රුවන්ට වුණත් ඔබ එහෙමද?

ඔව්. රුවන් එයාගේ යාළුවන්ටත් කියනවා මම කියන්න තියෙන දේ කෙළින් කියනවා කියලා. මම බබා වගේ නිවිලා ඉන්න කැමැති නැහැ. රුවන්ට වුණත් දෙයක් කෙළින් කියනවා.

රුවන් කොයි වගේ කෙනෙක්ද?

එයා මං වගේ කතා කරන්නේ නැහැ. පාඩුවේ ඉන්නවා. එයා මං තරම් වස නැහැ. හැබැයි දැන් මගෙන් පුරුදු වෙලා ද කොහෙද එයත් මොනවා හරි දෙයක් තිබ්බොත් කෙළින් කියනවා.

බොහෝ තැන්වලදි රුවන් සහ ෂෙරිල් එකටම දකින්න ලැබෙනවා. මේ බැඳීම විශේෂයි නේද?

ඇත්තටම ඒක හොද දෙයක්. ගොඩක් අයට ඒ බැඳීම නැති එක තමයි ප්‍රශ්නය. අපි දෙන්නා පිටරට ෂෝවලට එකට යනවා. එයත් මගේ වැඩවලට එනවා. මමත් එයාගේ වැඩවලට යනවා.

දැන් රුවන්ගෙයි ෂෙරිල්ගෙයි විවාහ ජීවිතයට අවුරුදු හයක්. කොහොමද ඒ ජීවන ගලා යෑම?

අපි ආදරේ කරලා විවාහ වුණේ. දැන් විවාහ වෙලා අවුරුදු හයක්. අපිට ප්‍රශ්න නෑ, අපි තමයි සර්ව සම්පූර්ණ යුවළ කියලා අපි කියන්නේ නැහැ. එහෙම කිව්වොත් බොරුවක්. ප්‍රශ්න ආවොත් කතාබහ කරගෙන එකට ඉස්සරහට යන එක තමයි වැදගත්.

ෂෙරිල්ගේ නර්තන ජීවිතයට මොකද වෙලා තියෙන්නේ?

නර්තනය නිසා තමයි මාව බොහෝ දෙනා හඳුනා ගත්තේ. නර්තනය කියන්නේ හරි වැදගත් දෙයක්. මම රුවන් එක්ක පිටරට ප්‍රසංගවලට ගිහින් නර්තන කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඒකයි මාව මෙහේ වැඩිපුර දකින්න නැත්තේ. මම නර්තනය අතහරින්නේ නැහැ.

ෂෙරිල් විලාසිතා කරන්න වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්නේ. විලාසිතා තෝරා ගනිද්දී අනෙක් අයගේ අදහස් ගැන හිතනවද?

මෙහෙමයි මම ඇඳුම් අඳින්නේ මගේ සල්ලිවලින්. මම කැමැති නම් මට ගැළපෙනවා නම් මම ඒ ඇඳුම් අඳිනවා. විවේචනවලට නම් මම බය නැහැ. මම කොහොමත් විලාසිතා කරන්න කැමැතියි.

රුවන් ෂෙරිල්ගේ විලාසිතාවලට එකඟද?

ඔව්. එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් එයත් ෆැෂන් කරනවා. කොහේ හරි යද්දී මට වඩා පරක්කු වෙන්නේ එයා. මොකද එයත් කණ්ණාඩිය ළඟ ඉ¼දගෙන හරියට ලෑස්ති වෙනවා.

මොනවද ජීවිතේ ඉදිරි සැලසුම්?

හැමදාම සතුටින් ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ජීවිතයට තව දේවල් එකතු වෙන්න ඕන. දරුවෝ ඉන්න ඕන. ඉතින් දෙවියන්ගේ ආශීර්වාදය එක්ක ඒ හැම දෙයක්ම ලැබෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top