Jul 26, 2019

"නිශානි ටීචර්ටත් වඩා හංසිනි සැරයි"

මේ දිනවල පුංචි තිරයේ කාටත් හුරු පුරුදු චරිතයෙකි. ඒ චරිතය ඔබට හුරු පුරුදු සංගීතය ටෙලි නාට්‍ය තුළිනි. මේ චරිතයට පණ පොවනු ලබන්නේ නව පරපුරේ නිළියක වන හංසිනි විමල්සිරි ය. හංසිනි සමග අප කතා කළේ තරුණ ප‍්‍රජාව අතර සංගීතය නාට්‍යයේ නිශානි ටීචර් චරිතයක් ජනපි‍්‍රය නිසයි.

සංගීතය ටෙලි නාට්‍යයත් සමග ඔබට හංසිනිට විශාල පේ‍්‍රක්ෂක අවධානයක් හිමි වෙනවා. හංසිනිට කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

HansiniW1 670px 19 07 26මම දෙරණ ඩි‍්‍රම් ස්ටාර් තරගාවලියේ හත්වැනි අදිරයට ඉදිරිපත් වුණා. එහිදී නව වැනියා දක්වා ඉදිරියට එන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ අතරතුරේදී තමයි සංගීතේ ටෙලි නාට්‍ය සඳහා මට ආරාධනා ලැබෙන්නේ. හැබැයි මීට පෙරත් නික්මයෑම, ගිරිදුර්ග සහ හසුන කියන ටෙලි චිත‍්‍රපටි කිහිපයකටම මම රංගනයෙන් දායක වුණා. ඊට හොඳ ප‍්‍රතිචාරත් ලැබුණා.

නිශානි ටීචර් නිසා මඟ තොටේදීත් දැන් ඔබ හැබෑම ගුරුවරියක් වෙලා නේද?

ඔව්. සංගීතේ මම රඟපාන චරිතේ තමයි නිශානි. ඇය ගුරුවරියක්. ඒ වගේම ටිකත් විතර සැරයි. ඉතින් මාව මඟ තොටේදී දකින බොහෝ දෙනා මට කතා කරන්නේ නිශානි ටීචර් කියලා. සමහර වේලාවට නම් ඔයා මොකද ඔච්චර සැර කියලත් කට්ටිය අහපු අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් නිශානි ටීචර්ටත් වඩා නම් හංසිනි සැරයි හොඳේ (හිනැහී)

ඉතින් හංසිනි නවක රංග ශිල්පිනියක් විදියට ඔබට තියෙන්නේ මොන වගේ අභියෝගද?

ඇත්තටම රංගනය පැත්තෙන් මට තිබෙන ලොකුම අභියෝගය තමයි ගෙදර කට්ටියගෙන් වෙන් වෙලා කොළඹ ඉන්න වෙන එක. මගේ ගම තිස්සමහාරාමේ. අම්මයි, තාත්තයි, අයියලා තුන් දෙනයි දාලා රංගනය වෙනුවෙන් මට කොළඹ රැඳෙන්න වුණ එක තමයි දැනට තියෙන ලොකුම අභියෝගය. ඒත් ඉතින් ඒ හැමෝම නිතරම මාත් එක්ක කතා කරනවා. ඒ නිසා ඒ අභියෝගයත් මට ජය ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.

එතකොට ගම දාලා කොළඹට ඇවිත් රඟපාන්න යනවා කිව්වම ගෙදර අය තහංචි දැම්මේ නැද්ද?

හ්ම්.... මුලදී නම් තහංචි දැම්මා. අයියලා තුන් දෙනෙක්ම ඉන්නවනේ ඉතින් චුටි නංගි ගැන හොයලා බලනවා වැඩියි. ඒත් මගේ ගෙදර අය මට නිතරම කියලා දෙන්නේ වයසට ගැළපෙන දේ කරන්න කියලා. දැන් මම ඉන්නේ යමක් තේරුම් අරගෙන වැඩ කර ගන්න පුළුවන් වයසක. ඒ නිසා ඉතින් මම හරි පාරේ යනවා කියලා මගේ පවුලේ අය දන්නවා. ඒ වගේම එයාලගේ ආශීර්වාදේ නිතරම මාත් එක්කමයි.

ලස්සන දක්ෂ කෙල්ලෙක් රඟපාන්න ආවාම රැදෙන්න නම් අමාරුයි කියන එක බොහෝ නවක රංගන ශිල්පිනියන් කියන කතාවක්. හංසිනිත් එකට එකඟද?

රඟපාන්න අවස්ථා නම් අද ගොඩක් දෙනකුට ලැබෙනව. ඒත් හරි විදිහට රැඳෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ තමාම තමයි. අපි අපේ ගමන හරි විදිහට ගියොත් දිගටම රැඳෙන්න පුළුවන් වෙවී. වැරදි පාරවල් තෝරා ගත්තොත් නම් ගමන කෙටි වෙවී.

හංසිනිගේ කටහඬට ආදරේ කරන පේ‍්‍රක්ෂකගේ වෙනුවෙන්මයි මේ ප‍්‍රශ්නේ අහන්න හිතුණේ. රඟපෑම නිසා හංසිනිට ගායනය අමතක වෙවීද?

කවදාවත් නැහැ. මොකද මාව නිළියක් කරන්නෙත් ගායනය ගායිකාවක් විදිහට පේ‍්‍රක්ෂකයා අතරට ගිය නිසානේ මට රංගනයටත් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ගායනය, රංගනය කියන දෙකම සමබරව කරගෙන යනවා. ඒත් රංගනයේදී නම් චරිත තෝරා ගන්න කොට මම ගොඩක් සැලකිලිමත් වෙනවා කියන එක නම් කියන්නම ඕනේ. හැබැයි ඉතින් මගේ අනාගත බලාපොරොත්තුව නම් රටේ ඉන්න අංක එකේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වීම.

හංසිනි දැන් බොහොම ජනපි‍්‍රයනෙ. ඉතින් හංසිනිට තාම විශේෂ කෙනෙක් නැද්ද?

මගේ දෙමවුපියෝ, සහෝදරයෝ හැරුණාම නම් මට වෙන විශේෂ කෙනෙක් නම් නැහැ. සමහරු විශේෂ වෙන්න හදනවා වෙන්න පුළුවන්. ඒත් තවම නම් මම එකට අවස්ථාවක් දෙන්න් නැහැ (හිනැහී) හැමදේටම කාලයක් තියෙනවානේ. දැන් මගේ එකම අරමුණ තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මම හදාරන ව්‍යවහාරික සංගීතය හා ජන සන්නිවේදනය කියන ප‍්‍රසාංගික කලා විශේෂවේදී උපාධිය හොඳින් සම්පූර්ණ කරන එක. ඒ වගේම ගායනය, රංගනය වෙනුවෙන් අලූත් දෙයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සමන්මලී නැලිගම

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top