Aug 17, 2020

හුරතලේට හාවෝ 200ක් ඇති කරපු සහේලි

‘දෙවැනි ඉනිමේ’ සහේලි කිව්වාම ඇය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අහම්බෙන් රංගනයට ආ එමාෂා සෙනෙවිරත්න එක්ක ටිකක් කතා කළා.

පුංචි කාලේ ඉඳන් රඟපානවද?

අපෝ නැහැ. පුංචි කාලේ ඉඳන්ම නිළියක් වෙන්න හිතාගෙන උන්නා. නමුත් අවසානයේ අධ්‍යාපනය ඉවර වෙලා තමයි නිළියක් වුණේ.

කොහෙද ඉස්කෝලෙ ගියේ?

මගේ ගම බදුල්ල. මූලික අධ්‍යාපනය බදුලු විහාර මහා දේවී විද්‍යාලයෙන්. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මහනුවර උසස් බාලිකාවේ ඉගෙනගෙන ආපහු උසස් පෙළ කරන්න බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ගියා.

රඟපාන්න එන්නේ කොහොමද?

හරිම අහම්බෙන් වුණේ. මගේ මල්ලි කලාවට සම්බන්ධයි. බදුල්ලේ ඉඳලා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න කොළඹ ආවා. එතැනදි මගේ ඡායාරූප වගයක් දැකලා තමයි දෙවැනි ඉනිමට එන්න අවස්ථාව ලැබෙන්නේ.

රංගනය ගැන අවබෝධයක් තිබුණද?

මීට කලින් වෙළෙඳ දැන්වීම් දෙකක් විතර කරලා තිබුණා. මල්ලි කලා ක්ෂේත්‍රයේ නිසා බොහෝ අය හඳුනනවා. දෙවැනි ඉනිමත් මම ප්‍රිය කරන නාට්‍යයක්. මම කැමැත්තෙන්ම බලපු නාට්‍යයක රඟපාන්න ලැබීම වාසනාවක් හැටියට තමයි මම දැක්කේ.

පළමුවැනියට රඟපාපු දර්ශනය මතකද?

රවින් කනිෂ්ක අයියා එක්ක තමා මුලින්ම රඟපාන්න තිබුණේ. දර්ශන තලය තිබුණේ නුවර. පුදුම සතුටක් දැනුණේ කැමැත්තෙන් බලපු නාට්‍යයක රඟපාන්න ලැබීම ගැන.

එතකොට ඉගෙනීම?

උපාධිය සම්පූර්ණ කළේ දෙවැනි ඉනිම රඟපාන අතරෙමයි. උසස් අධ්‍යාපනයට විදේශගත වෙන්න උන්නේ. නමුත් දෙවැනි ඉනිම නිසා විශේෂ උපාධිය ලංකාවේ ඉඳන්ම කරන්න තීරණය කළා.

දෙවැනි ඉනිමේ විතරද රඟපාන්නේ?

සාරංග දිසාසේකර එක්ක ‘හිතුවක්කාරි’ කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළා. ළඟදීම ඒ නාට්‍යය නරඹන්න පුළුවන්.

සැබෑ ජීවිතෙත් හිතුවක්කාරියක්ද?

අපෝ නැහැ. මම හුඟක් අහිංසක කෙනෙක්.

දෙවැනි ඉනි‍‍මේ තව කොච්චර කාලයක් ඉන්නවද?

ඒක තීරණය කරන්නේ අධ්‍යක්ෂතුමා සහ තිර පිටපත ලියන කෙනා. මාව ක්ෂේත්‍රයට හඳුන්වා දුන් නාට්‍යයේ මට පුළුවන් තාක් කාලයක් මම රඟපානවා.

මොකද මෙච්චර සත්තුන්ට කැමති?

පුංචි කාලේ ඉඳලම සත්තුන්ට කැමතියි. විවිධ වර්ගයේ බල්ලෝ හත්දෙනෙක් ඉන්නවා. ගිනිපික් කෙනෙකුත් ඉන්නවා. ඉස්සර හාවෝ 200ක් විතර උන්නා. හාවෝ හදන්න ලැබුණේ අහම්බෙන්. අපි ගෙදර කට්ටිය ගමනක් ගිහින් එනකොට ගොවිපොළක හාවෝ වගයක් පණපිටින් මසට විකුණන්න දාලා තිබුණා. මම ඒ හාවෝ ටික සල්ලි දීලා ගෙදර ගෙනාවා. අන්තිමට දෙසීයකට වඩා බෝවුණා.

දිගටම රඟපානවද?

එහෙම හිතලා නැහැ. මම ඉගෙන ගත්තු ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන් ජොබ් එකක් කරන්නත් කැමතියි.

හැමදාම සත්තු හුරතල් කර කර ඉන්නද කල්පනාව?

මෙහෙම හොඳයි කියලා හිතෙනවා.

තරුණයෙක්ගේ ආදරණීය බැල්මක් තාම වැටුණේ නැද්ද?

නැත්තේ මොකද… බැල්ම නම් වැටෙනවා. නමුත් මම තාමත් එහෙම දේකට සූදානම් නැහැ කියලා හිතෙනවා. තනිවම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top