Sep 10, 2020

කොරෝනා මගේ ජීවිතේම උදුරගත්තා

ගෙවී ගිය කාලයේ ඇතිවුණ කොරෝනා වසංගතය නිසා ජීවිතයේ බලවත්ම විප්පයෝගය අත්විඳි නිළිය සෙනාලි ෆොන්සේකායි. කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා සිය පියාණන් සදහටම මෙලොව හැරයාමෙන් පසුව තෙමසකට වඩා කාලයක් නිහඬව ගෙවූ ඇය අලුත් ටෙලි නාට්‍යයක මුහුරත් උළෙලට සහභාගි වූවා. ඉන් ඉක්බිතිව ඇය සමග කෙරුන කතාබහයි මේ.

සෙනාලි ලංකාවට ආවෙ කවදාද?

ලංකාවට ආවේ නම් මාසෙකට විතර කලින්. ඇවිදින් දවස් 28 ක් නිරෝධායනය වෙලා වැඩවලට සම්බන්ධ වුණේ පසුගිය සතියෙ ඉඳන්.

ලංකාවට ආවේ අලුත් නිර්මාණයට සම්බන්ධ වෙන්නද?

අපිට වෙච්ච කරදරත් එක්ක විශේෂයෙන්ම මගේ අමම්ට වෙනසක් සිද්ධ වෙන්න අවශ්‍යයි කියල හිතුවා. ඇය පසුගිය අවුරුදු දෙකේම හිටියේ එංගලන්තයේ. ලංකාවේ අපේ පවුලේ අයයි, යාළුවොයි ඉන්න නිසා අපි ලංකාවට එන්න තිරණය කළා.

සිනමාව සමග වැඩි සබඳතාවක් ඇති සෙනාලි හිටි ගමන් ටෙලි නාට්‍ය පැතත්ට නැඹුරු වෙන්න හිතුවද?

‘මනුසත් උයන’ ටෙලි නාට්‍යය මගේ කලා ජීවිතයේ මං දකින විශේෂ සංධිස්ථානයක්. ඒකට හේතුව මගේ ලොකු නැන්දිත් එක්ක, ඒ කියන්නේ මාලනි ෆොන්සේකා මහත්මියත් එක්කයි රංගනයේ යෙදෙන්නේ. ඇය සමග වැඩ කරන්න මට ලැබෙන පළමු අවස්ථාව මෙය. ඇය මට ලොකු නැන්දි වුණාට ලෝකය ඇයව පිළිගන්නේ නිළි රැජින හැටියටනේ. ඉතින් ඇය සමග වැඩ කිරීම ඇගේ රංගනය ගැන හදාරන්න මට ලැබුණ අවස්ථාවක්.

SenaliF1 670px 20 09 10හදිසියේම උපන් රටෙන් පිටදී සිදුවුණ පියාණන්ගේ වියෝගය සෙනාලි විදගත්තෙ කොහොමද?

තාත්ත්ගේ වියෝව සිද්ධ වෙන මොහොතෙත් මම හිටියේ ලංකාවේ. හරියටම සිංහල අවුරුදු දවසේ තමයි තාත්තා රෝහල්ගත වුණේ. දවස් 14 ක් ඔහු රෝහලේ හිටියා. වෛද්‍යවරු ඔහුට උපරිම සැලකිලි දැක්වූවා. මම ලංකාවේ ඉඳන් මට පුළුවන් විදිහට හැම දෙයක්ම කරන්න උත්සාහ කළා. මොකද කොරෝනා තත්ත්වය නිසා මට එංගලන්තයට යන්න ගුවන්යානයක් බුක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගුවන් ගමන් නවත්වලා තිබුණ නිසා තාත්තගේ වියෝව සිද්ධ වෙලා මට එංගලන්තයට යන්න මාසයක් විතර ගියා. එතෙක් ඔවුන් මගේ තාත්තගේ මෘතදේහය ආරක්ෂා කරලා තියලා තිබුණා.

එංගලන්තයේදි පියා රෝගාතුර වීම නිසා ඔබලා ඒ රට තුළ හුදකලා වුණාද?

මේ අත්දැකීමට මුහුණ දීපු පළවෙනි පාර්ශ්වයේ කෙනෙක් විදිහට මම මේ පවසන්නේ එහෙ වෛද්‍යවරු උපරිමයෙන් උත්සාහ කරනවා රෝගින් බේරගන්න. නමුත් මේ ලෙඩේට මේ යැයි කියල බෙහෙතක් නැති නිසා ඔවුන්ට කරන්න දෙයක් නැහැ. සමහර වෙලාවට වියදම වැඩි නිසා නොකරන දේවල් තියෙනවා. ඒ දේවල් පවා ඔවුන් තාත්තා වෙනුවෙන් කළා. උදාහරණයක් විදිහට මැෂින් එකේ දවස් 14 ක් තියන්නේ නැහැ. ඒ දේ පවා කරලා අන්තිම තත්පරය වෙනතුරු ඔවුන් උත්සාහ කළා තාත්තගේ දිවි රැකගන්න. එහේ තාත්තා රෝහල්ගත වෙලා ඉන්න විට මම ලංකාවේ හිටියේ. මට ඒ රටට කතා කරන්න බැරිවුණොත් වෛද්‍යවරු කතා කරලා මට තාත්තගේ තත්ත්වය දැනුම් දුන්නා. තාත්තගේ අන්තිම හුස්ම යන මොහොතේ පවා තාක්ෂණය උපකාරයෙන් පිරිත් ශ්‍රවණය කරවන්නත් අවස්ථාව හදල දුන්නා.

ඒ වෙලාවෙ මොහොතකටවත් ලංකාවේ හිටියා නම් කියල හිතුණෙ නැද්ද?

අපේ රටේ කොත්තමල්ලි බොන එක වගේ අයුර්වේද ක්‍රම බටහිර රටවල නැහැ. ඒ දේවල් එක්ක හිතෙනවා ලංකාවේ හිටිය නම් හොඳයි කියලා. ලංකාවේ ජනතාව සුවපත් වුණේ මේ රෝගයට ඔරොත්තු දුන්නේ අපේ රටේ ස්වභාවික දේවල් එක්ක. මං ජීවත් වුණ බටහිර රටේ වරදක් විදිහට දකින්නේ එයයි. ලෝකයට මේ ලෙඩේ ආපු අවස්ථාවේ අපේ රටේ මිනිසුන්ගෙ හොඳ පාලනයක් තිබ්බා. ඒ වෙලාවෙ අපි කොච්චර අකමැත්තෙන් වුණත් ගෙදරට හිරවෙලා හිටියා. අපේ ලංකාවේ මිනිස්සු ගෙදරට වෙලා හිටිය නිසයි මේ විදිහට බේරුණේ. ඒ වගේ පාලනයක් එංගලන්තයේ මිනිස්සුන්ගේ තිබුණා නම් මිනිස්සු එච්චර ප්‍රමාණයක් නැතිවෙන්නේ නැහැ. එහේ කියන්නේ හුස්ම ගන්න අපහසු වෙන අවස්ථාව වෙනකම් ගෙදරට වෙලා ඉන්න කියලා. මෙහෙ රෝග ලක්ෂණ පෙන්වූ සැණින් ප්‍රතිකාර කළා, නිරෝධායනයට ලක් කළා. ඒ අඩුපාඩුව එහෙ තිබුණා. හැබැයි ඒ අඩුපාඩුව සුදු මිනිස්සු කළු මිනිස්සු කියලා නැහැ හැමෝටම පොදුවේ බලපෑවා.

තාත්තගේ වියෝව සෙනාලිගේ ජීවිතය වෙනස් කළාද?

මම හිතන විදිහට මගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම කරදරය තමයි මේ වුණේ. මට වෙන්න පුළුවන් අනික් හැමදේම දෙවැනි වෙනවා තාත්තා නැතිවෙනවා කියන දේට. ඒ සිදුවීමෙන් පස්සේ මම ලේසියෙන් සාමාන්‍ය ජීවිතයට ආවේ නැහැ. මම මානසිකව වැටුණා, ලෙඩ වුණා. ඒ හැමදේකින්ම මම ශක්තිමත් වුණා. හරියට තාත්තා, තාත්තගේ තත්ත්වය මට දීලා ගියා කිව්වොත් හරි.

ජීවිතය එදාට වඩා බරට ගැඹුරට දැනෙන්න පටන් අරන් වගෙයි…

මම පවුලේ එකම ළමයනේ. මට බරක් පතලක් තිබුණේ නැහැ. මට මගේ පවුලේ අය, නෑදෑයෝ හිටියා. තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා. මට මොන දේ වුණත් තාත්තා මාව බේරගන්න එනවා කියල මගේ හිතේ තිබුණා. කවුරුහරි මාව පැහැරගෙන ගියත් තාත්තා ඇවිත් මාව බේරගෙනියි වගේ හැඟීමක් මට තිබුණේ. ගැහැනු ළමයෙකුට මේ වගේ දෙවල් දරන්න වෙන්නේ විවාහ වුණාට පස්සෙනේ. ස්වාමිපුරුෂයෙක් එක්ක හිටිය නම් ජීවිතයේ මෙච්චර බරක් මටත් දැනෙන එකක් නැහැ. නමුත් මම තමයි දැන් පවුලේ සියලුම බර දරන්නේ. මම වයසින් විසි ගණන්වල හිටියට හිතින් අවුරුදු 10ක ළමයෙක් වගේ ජීවත් වුණේ. නමුත් තාත්තගේ වියෝවත් එක්ක මම මගේ වයසටත් වඩා පරිණත වුණා.

සෙනාලි වෘත්තීය නිළියක් වෙලාද?

නැහැ, තාත්තගේ සිහිනය තමයි මගේ අධ්‍යාපනය. තාත්තා වෛද්‍යවරයෙක් වෙන්න ගිහින් එක ලකුණකින් ඒ අවස්ථාව අහිමිවෙලා ගිය කෙනෙක්. තාත්තට ඕන වුණේ මාව වෛද්‍යවරියක් කරන්න. නමුත් මම කැමති වුණේ නැහැ වෛද්‍යවරියක් වෙන්න. ඒක නිසා ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් වෙන්න මම ඉගෙන ගත්තා. ප්‍රථම පෙළ සාමාර්ථයක් සමග මම උපාධිය සම්පූර්ණ කළා. තවදුරටත් මම, මගේ උසස් අධ්‍යාපනය කරගෙන යනවා. ඒ අධ්‍යාපනය ඇසුරෙන් අනිවාර්යෙන්ම රැකියාවක් කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ රැකියාව මම මොන රටකදී කරයිද දැන්ම කියන්න බැහැ. නමුත් මම පෞද්ගලිකව කැමති ලංකාවට සේවයක් කරන්නයි.

රංගනය ඔබේ විනෝදාංශයද?

රංගනයත් මගේ වෘත්තියක් තමා. කලාව මම විනෝදාංශයක් විදිහට කරන්නෙ නැහැ. රංගනයට අපි මහන්සි වෙනවා. නමුත් අපි කවදාවත් විනෝදාංශයකට මේ වගේ වෙහෙසෙන්නෙ නැහැ. මේ මොහොතේත් මගේ දෙපා දැඩිව රිදෙනවා. පහුගිය දවස් කිහිපයේ මම සහභාගි වූ රූගත කිරීමට මට උල් ගල් උඩ නටන්න, ගිනි අවවේ තාර පාරේ දුවන්න, කඳු නගින්න සිද්ධ වුණා. අපි මේ වගේ ගොඩක් දුක් විඳිමින් රංගයේ යෙදෙන්නේ, ඒ වගේම කලාවේ චරිතයක් හරියට කරහම ලැබෙන තෘප්තියත් වෙනස්ම දෙයක්. කලාවත් මහන්සිවෙලා කරන රැකියාවක් කියලා මම කියනවා. නමුත් මම මුල්තැන දෙන්නේ මගේ අධ්‍යාපනයට.

සෙනාලි දැන්වත් ප්‍රේමයකට අයිතිකාරියක් වුණොත් හොඳයි නේද?

මම ජීවිතයේ කවදාවත් පිරිමි ළමයෙක්ගේ ආදරයක් පස්සෙන් ගියෙ නැහැ. ආදරය කියන්නේ පස්සෙන් ගිහින් ලබාගන්නා දෙයක් නෙවෙයි. අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා. ආදරය මට ලැබෙන්න තියෙන විදිහට මට ලැබෙයි. ඒ ගැන තාත්තා ඉන්න කාලේ හදිසියක් තිබුණෙත් නැහැ, දැනුත් නැහැ. මේ දේවල් කරගන්න හයියක් ඕන නිසා නෙවෙයි, මට පිරිමි ළමයෙක්ගේ ආදරය වුවමනා කරන්නේ. මට පුළුවන් මගේ දේවල් බලාගන්න. මගේ හිතේ ශක්තිය තියෙනවා, ඕනම දේකට පිරිමි ළමයෙක් වගේම ගැහැනු ළමයෙක් විදිහටත් මට ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්. මම වැටිලා ඉද්දි උදව්වට නෙවෙයි, මට ප්‍රේමයක් ඕන. මාව තේරුම් අරන් මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුයි.

ධම්මිකා සුරංජි පතිරණ
(අරුණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top