May 25, 2021

"ගජමෑන්ගේ වෙනස්වීම ඔහුට භාරයි"

"අහස රතු පාටයි, කුඹුර දම් පාටයි", "කෑවා ඒත් බඩගිනියි" මේ දෙබස් ඇසූ පමණින් ඔබට ඔහු මතක් වන්නට ඇති. පුංචි තිරය තුළ වගේ ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේත් “ගජමෑන්” ව නොදන්නා කෙනෙක් නොමැති තරම්. ගජමෑන් කියා බොහෝ දෙනෙක් ඔහුව හැඳින්වුවත් ඔහුගේ නියම නම ශෂ්මිත ඩිල්ෂාන්.

කොහොම ද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ නාඩගම්කාරයෝ එක්ක.

කොහොම ද කලාවට පිවිසෙන්නේ?
මීට අවුරුදු 5කට උඩදී ජැක්සන් ඇන්තනීගේ “දස්කොන්” කියන නාට්‍ය හරහායි මං කලාවට පිවිසෙන්නේ. ඉන්පසුව රංගනයට හිතේ ලොකු කැමැත්තක් ඇතිවෙනවා වාගේම එය වෘත්තියක් විධියට මං තෝර ගන්නවා.

දස්කොන් ටෙලි නාට්‍යයට ඔබ සම්බන්ධ වුණේ කොහොම ද?
දස්කොන් ටෙලි නාට්‍යය රූපගත කිරීම් සිදුකළේ අපේ ප්‍රදේශයේ. ඒ හේතුව නිසා වගේ ම මවුපියන්ගේ හිතවත්කම් නිසා එයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මගේ තාත්තා තමයි “අස්වැසුම” චිත්‍රපටයට මැණික් ගල සාදා දුන්නේ. දස්කොන් ටෙලි නාට්‍යයෙන් පස්සේ මම ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපෑවා.

නාඩගම්කාරයෝහි ගජමෑන් වුණේ කොහොම ද?
නාඩගම්කාරයෝහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සමග වසර 3ක පමණ කාලයක සිට සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස මං කටයුතු කළා. අග්නි පියාපත් ටෙලි නාට්‍ය රූගත කිරීම් අතරේ අලුත් නාට්‍යයක් පටන් ගන්නවා නාඩගම්කාරයෝ කියලා. එහි සහය අධ්‍යක්ෂණයටත් මං සම්බන්ධ වුණා. එහිදී නාඩගම්කාරයෝහි පිටපත් රචක සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මා යෝජනා කරනවා අලුත් චරිතයකට මාව තෝර ගන්න. ඒ අනුවයි මං ගජමෑන් වුණේ.

දෙබස් අඩු චරිතයක් වුණත් ගජමෑන්ව මිනිසුන් වැළඳගන්න විශේෂ හේතුවක් තිබෙනවා ද?
ඔව්. ගජමෑන් චරිතයට හිමිවෙන්නේ දෙබස් කිහිපයක් විතරයි. “බඩගිනියි ප්ලේන්ටියක් වගේ වචනයකින් දෙකකින් එම දෙබස් නිම වෙනවා. ගජමෑන් කියන්නේ මෙතෙක් නාට්‍යවල දකින්න නොලැබුණු ආකාරයේ වෙනස් ම චරිතයක්. ඒ වගේ ම ඔහු අසාධාරණයට අකැමැති කෙනෙක්.  යම් දෙයක් ගජමෑන් වටහා ගත්තා නම් එය අනුමත කරන්නේ ඔහුගේ හිනාවෙන්.

ගජමෑන්ගේ හිනාවත් හරි ම ජනප්‍රියයි. එය ඔබගේ ම නිර්මාණයක් ද?
ඔව්. පිටපත් රචකයා වගේ ම අධ්‍යක්ෂවරයා පැවසුවා මේ චරිතය සුවිශේෂ කරන්න යම් විශේෂ ලක්ෂණයක් අවශ්‍යයි කියලා. ඒ අනුවයි එම හිනාව මං නිර්මාණය කළේ.

ඔබ වැඩියෙන් ම නිර්මාණවලට දායක වුණේ කැමරාවෙන් පිටුපස ඉඳගෙන නේද?
ඔව්. මං කලා අධ්‍යක්ෂණයට යොමු වුණේ රංගනය ගැන අවබෝධයක් ලබා ගන්න. ඉන්පසුව කසුන් සමීරගේ මග පෙන්වීම මත මං දෙවැනි සහය අධ්‍යක්ෂණයට යොමුවෙනවා. චින්තන ශ්‍රීමාල්, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් වැනි ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් ඇසුරු කරන්න ඉන් අවස්ථාව ලැබෙනවා. සහය අධ්‍යක්ෂණයේදී නාට්‍යයේ සෑම චරිතයක් ගැන ම ලොකු අවබෝධයක් තිබිය යුතුයි. මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරලා නොවෙයි. ඒ නිසා රංගනයේ අක්මුල් ස්පර්ශ කරන්න මට අවශ්‍ය වුණා. මා වෘත්තීයමය රංගන ශිල්පියෙක් බවට පත්වන විට සෙට් එකක කටයුතු කරන්න මං දැන සිටින්න අවශ්‍යයි. ඒ වගේ ම ඔවුන්ගේ වගකීම, වැඩකටයුතු ගැන මට දැනුමක් තියෙන්නත් අවශ්‍යයි. ඒ නිසා මට වෘත්තියක් කරන අතරතුර කැමරාව පිටුපස සිට සියලු දේ පිළිබඳව අත්දැකීමක් වගේ ම දැනුමක් ලබා ගන්න හැකියාවක් ලැබුණා.

සහය අධ්‍යක්ෂණයෙන් සමුගෙන ඉදිරියේදී නළුවෙක් ලෙසින් පමණක් ඔබව දකීවි ද?
මං මුල අමතක කරන කෙනෙක් නෙවෙයි.  මට තවත් රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණත් මං සහාය අධ්‍යක්ෂණයෙන් ඉවත් වෙන්නේ නැහැ. මගේ එක ම අරමුණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වීම.

ඉදිරියේදී රංගනය හදාරන්න බලාපොරොත්තු වෙනව ද?
ඔව්. අනිවාර්යයෙන් ම. රංගනය හදාරා නිම කරන්න පුළුවන් ක්‍ෂේත්‍රයක් නොවෙයි. ඒ නිසා තවත් රංගනය  පිළිබඳව අත්දැකීම්වලින් මම පරිපූර්ණ වෙන්න අවශ්‍යයි. නමුත් මම විශ්වාස කරනවා ඕනෑ ම චරිතයකට උපරිම සාධාරණයක් කරන්න මට හැකියාව වගේ ම ශක්තිය තියෙනවා කියලා.

ඔබව ගජමෑන් කියලා මිනිස්සු අඳුන ගන්නවා ද?
ඔව්. ගොඩක් දෙනෙක් අඳුනගන්නවා. මොක ද මට බොරු කොණ්ඩ, බොරු  රැවුල් පාවිච්චි කරලා නැහැ. ඒ වගේ ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං බලාපොරොත්තු නොවූ ආදරයක් මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණා. ඒ හැම දෙනාටත් මං ගොඩක් ආදරෙයි.

කලා ක්‍ෂේත්‍රයේ විවිධ වෘත්තීන්වල පෙනී සිටි කෙනෙක් විධියට කැපිලි කෙටිලිවලටත් මුහුණ දීලා ඇති නේද?
කලා ක්‍ෂේත්‍රය කැපිලි කෙටිලි නැති තැනක් කිව්වොත් ඒක අතිශයෝක්තියක්. නමුත් මගේ වෘත්තීය අත්දැකීම් තුළ මට එහෙම සිද්ධීන් සිදුවෙලා ම නැහැ. මං හිතනවා කැපිලි කෙටිලිවලට තමන්ගේ හැසිරීමත් යම්තාක් දුරකට බලපානවා කියලා. මාත් එක්ක හැමෝ ම ගොඩක් සුහදව කටයුතු කරනවා ඒ නිසා මට ඒ අත්දැකීම් නැහැ.

පවුලේ විස්තර කිව්වොත්?
මට ඉන්නෙ අම්මයි, මල්ලියි. උපන්ගම ඇඹිලිපිටිය, කොළොන්න. මුලදී අම්මා කැමැති වුණේ නැහැ මං කලාවට සම්බන්ධ වෙනවට. අම්මා බය වුණා කලාවට සම්බන්ධ වෙලා ජීවිතේ විනාශ කර ගනියි කියලා. නමුත් මගේ මහන්සියෙන් සහය අධ්‍යක්ෂණය දක්වා මගේ ගමන හදා ගන්නකොට අම්මගේ ආශීර්වාදයත් මට නිනැතින් ම හිමි වුණා.

ඉදිරියේදීත් වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදියට ශෂ්මිත දකීවි ද?
මං වෘත්තියෙන් ප්‍රසංග වේදිකා නිවේදකයෙක්. ඒ වගේ ම ඉදිරියේදී වෘත්තීයමය අධ්‍යක්ෂවරයෙක් වීමටත් හීනයක් දකිනවා. ඒ වගේ ම සෑම චරිතයකට ම උපරිම සාධාරණයක් ඉටු කරමින් රංගන ජීවිතය තුළ දිගු ගමනක් යන්නත් බලාපොරොත්තු වෙනවා.

ගජමෑන්ගේ චරිතය ඉදිරියේදී වෙනස් වෙනවා කියලා පොඩි කටකතාවක් යනවා. ඒ චරිතය මොන විදිහටද වෙනස් වෙන්නේ?
චරිතය ගොඩනැඟීමේ වගකීම තියෙන්නේ තිර පිටපත් රචකයාට. ඒ නිසා ගජමෑන්ගේ වෙනස්වීම ඔහුට භාරයි.

ශෂ්මිත පෙම්වතෙක් ද?
නැහැ.

මොන වගේ පෙම්වතියක් ද බලාපොරොත්තු වෙන්නේ?
මගේ ජීවිතයේ අංක එක මගේ පවුල. මගේ අම්මට ගොඩක් ආදරය කරන කෙනෙක්වයි මං බලාපොරොත්තු වෙන්නේ.  නිහතමානී, මාව තේරුම් අරන් ආදරය කරන පෙම්වතියක් අනාගතයේ මගේ බිරිය වේවි.

විශ්මි ජයනිකා
(හදගැස්ම)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top